කෝවිඩ්19 වසංගතයෙන් පාසල් දරුවන් ආරක්ෂා කරගැනීමට අවශ්‍ය කටයුතු කිරීමට , හා කෝවිඩ් 19 තත්ත්වය තුළ පාසල්වල කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය කටයුතු කිරීමට පත්කළ කාර්යසාධක බළකාය මෙතෙක් කිසිදු කටයුත්තක් කර නොමැති බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

 මෙම කටයුතු සිදු කිරීමට කාර්යසාධක බළකායක් තිබියදී කෝවිඩ්19 තත්ත්වය තුළ පාසල් ආරම්භ කිරීම, විභාග පැවැත්වීම ආදිය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය තනි තීන්දු තීරණ ගනිමින් සිටින බව එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ වසරේ මාර්තු 31 වැනිදා අධ්‍යාපනය පිළිබඳ කාර්යසාධක බළකායක් පත්කළ බවත්, එහෙත් එම බළකාය විසින්
දරුවන් ආරක්ෂක්ෂා කර ගැනීමට හෝ පාසල් පවත්වාගෙන යෑමට අදාළව මෙතෙක් කිසිවක් ව නොමැති බවත් ඔහු පවසා සිටියේය.

මේ නිසා අද වනවිට පාසල් දරුවන්ට පවා කෝවිඩ්19 ආසාදනය වී තිබෙන බවත්, කෝවිඩි19 තත්ත්වය තුළ ජාතික විභාග පැවැත්වීම පිළිබඳ සාමූහික තීන්දු තීරණ ගත යුතුව තිබීයදී අධ්‍යාපන අමාත්‍යංශය තම හිතුමතයට තීන්දු තීරණ ගන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.  අධ්‍යාපන ක්ෂේත්‍රය සැලකීමේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාවට නැංවීමට බව පවසමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ වසරේ ජනවාරි 14 වැනිදා කාර්යසාධක බළකායක් පත්කළ බවත්, එම කාර්යසාධක බළකායද මෙතෙක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් තීන්දු තීරණ ගෙන නොමැති බවත් හෙතෙම පවසා සිටියේය.

එච්. අයි. තුෂාර