පාකිස්තානයේ වයඹදිග කයිබර්-පක්තුන්ක්වා පළාතේ, මර්දාන් දිස්ත්‍රික්කයේ තබට් භායිහි ඉදිකිරීම් කම්කරුවන් විසින් කැබලිවලට කඩා දමන ලද බුදු පිළිමයක් ගැන විදෙස් වාර්තා තුළ ආන්දෝලනයක් හටගෙන ඇත. මෙම කඩාදැමීම හෙළිවූයේ ට්විටර් වීඩියෝවකිනි. කම්කරුවන් වැනසූ පිළිමය ගාන්ධාර ශිෂ්ඨාචාරයට අයත් වසර 1700ක් පමණ පැරණි
බුදු පිළිමයක් බව පාකිස්තාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
පාකිස්තානයේ කයිබර්පත්තුක්වා පළාතේ කෘෂිකාර්මික ගොවිපොළක කැණීමකදී මෙම පිළිමය හමු වී ඇති අතර, එය. විනාශ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී ඔවුන් ප්‍රාදේශීය මවුලවිවරයෙකුගේ නියෝග අනුගමනය කර ඇති බව පාකිස්තානු මාධ්‍ය වාර්තා කරයි.
කැනීමේදී හමු වූ පිළිමය මතු කරනවා වෙනුවට එක් පුද්ගලයෙකු විසින් එය විනාශ කරන අතර, තවත් පුද්ගලයන් පිරිසක් විසින් එය  වීඩියෝගත කර තිබේ. එම වීඩියෝව ට්විටර් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වී ඇති අතර, පසුව එය බලධාරින්ගේ අවධානයට යොමුව තිබේ.

පුරාවිද්‍යා හා කෞතුකාගාර අධ්‍යක්ෂවරයෙකු වන අබ්දුස් සමාද් බාන් පවසන්නේ විනාශ වූ පිළිමයේ කැබලී එහි පුරාවිද්‍යාත්මක වටිනාකම තක්සේරු කිරීම සඳහා  සොයාගෙන ඇති බවයි.
"පෙනෙන විදිහට එය ඉපැරණි එකක්. අපට එය  නැති වුණා" ඔහු පැවසීය.
 ප්‍රතිමාව විනාශ කිරීම  අපරාධයක් ලෙස හැඳින්වූ සමද්, ඕනෑම ආගමකට අගෞරව කිර්ම නොඉවසිය හැකි බවද පැවසීය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී පොලීසියේ කඩිනම් ක්‍රියාමාර්ගයද ඔහු අගය කළේය.
කයිබර් පක්තුන්ක්වාහි  පැරණි නම ගන්ධාරා වන අතර මෙම කලාපය බුද්ධාගමේ අනුගාමිකයන් අතර ඉතා ගෞරවයට පාත්‍ර වූ ස්ථානයකි.

තබත් භායි යනු මීට වසර 1,000කට පමණ පෙර නූතන පකිස්තානය. සහ ඇෆ්ගනිස්තානය පුරා විහිදී ගිය බෞද්ධ ගාන්ධාර රාජධානියේ කොටසකි. එය ශ්‍රී ලංකාව, කොරියාව සහ ජපානය යන රටවල සංචාරක ගමනාන්තයක් වන අතර, එය ගාන්ධාර ශිෂ්ඨාචාරයේ කොටසක් වූ බැවින් ඉතිහාසයෙහි ලේඛනගත කර ඇති මුල්ම නාගරික ජනාවාසවලින් එකකි.