පාතාල නායකයකු, සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවකු වන කොස්ගොඩ තාරක නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන කාන්තාවක් හා පිරිමි පුද්ගලයකු සපුගස්කන්ද, හෙයියන්තුඩුව කජුහේන පාර නිවසකදී පෙරේදා (15) අත්අඩංගුවට ගත් බව පැලියගොඩ අපරාධ විමර්ශන
ඒකකය කියයි.  එම සැකකරු හා සැකකාරිය සමග හොරොයින් මත්කුඩු ග්‍රෑම් හයයි මිලිග්‍රෑම් දහයක් එකම වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථ තුනක්, මුදල් ගණන් කිරීමේ මැෂිමක් පොලිසිය බාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාරියගේ සැමියා මුදල් වංචා කිරීමේ අපරාධවලට අදාළ වරත්තු 10කට ඉකුත් මැයි මස 11 වැනි දින අත්අඩංගුවට ගෙන මේ වනවිට කුරුවිට බන්ධනාගාරයේ රදවා සිටින බව පොලිසිය කියයි. එම පුද්ගලයාට එම වරෙන්තුවලට අමතරව තවත් වරෙන්තු 40ක් පමණ දිවයිනේ විවිධ පොලිස් ස්ථාන මගින් නිකුත් වී ඇති බවද සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය  කියයි.


ආදුරුප්පුවීදිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටින ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව බස්නාහිර හා දකුණු පළාතට මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය බෙදා හරින ජාවාරමක නිරත වූ මෙම සැකකරු හා සැකකාරිය අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කළේය. මෙම සැකකරු හා සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරම මගින් උපයා  ගත්නා ලද අතිවිශාල මුදල් ප්‍රමාණය තැත්පත් කර තැබීම හා එම  මුදල් ආරක්ෂිතව ගණන් බැලීම සදහා ආරක්ෂිත නිවසක් ලෙස  මෙම නිවස භාවිතා කර ඇති බව පොලිසිය කියයි.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලැබෙන මුදල් ප්‍රමාණය අතිවිශාල බැවින් ඒවා ගණන් කිරීමේ පහසුව සඳහා කොස්ගොඩ තාරක නමැති පාතාල නායකයා විසින් මුදල් ගණන් කරන යන්ත්‍රය ආදුරුප්පුවීදිය පොලිසියේ රඳවා සිටින සැකකරු මාර්ගයෙන් ලබාදී ඇති බව ප්‍රශ්න කිරීමේදී හෙළි වූ බව පොලිසිය කියයි. 2020 ජනවාරි මාසයේදී මාසිකව රුපියල් 22000 කුලී පදනම මත වසරක කාලයකට ලබා ගෙන ඇති බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය කොස්ගොඩ තාරකගේ දැනුම්දීම මතමත්ද්‍රව්‍ය අලෙවි කර ලැබෙන මුදල් එකතු කර විවිධ ස්ථානයන් වෙත ගෙන ගොස් දෙන බවට  විමර්ශනවලදී හෙළිවී යැයි පොලිස් නිලධාරියකු පැවසීය. පෑලියගොඩ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.


-බිමල් ශ්‍යාමන්-