ගවේෂණයක් සඳහා මුලතිව් මුතියංකට්ටු රක්ෂිතයට ගොස් අතරමංව සිටි යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් නම දෙනෙකු ඊයේ (16) උදෑසන සොයාගත් බව ඔඩ්ඩුසුඩාන් පොලිසිය කියයි.
මෙම සිසුන් පෙරේදා (15) මුතියංකට්ටු රක්ෂිතයේ කිලෝමීටර නවයකට වැඩි දුර ප්‍රමාණයක් පා ගමණින් රක්ෂිතය තුළට ගොස් ඇති  අතර එහිදී ඔවුන් අතරමංව ඇති බවද පොලිසිය පවසයි.

දහවල් කාලයේ ඔවුන් අතරමංව ඇති අතර ජංගම දුරකතනවලට සංඥා නොමැතිවීම හේතුවෙන් ඒ පිළිබඳ දැනුම් දීමට සිසුන්ට නොහැකි වී ඇති බවද පොලිසිය කියයි.

රාත්‍රියේදී එක් සිසුවකුගේ ජංගම දුරකථනයට සංඥා ලැබී ඇති අතර පසුව ඔවුන් ප්‍රදේශයේ හිතවතකුට සිද්ධිය දැනුම් දී ඇති බව පොලිසිය පවසයි.

පණිවුඩය ලබාගත් තැනැත්තා සිද්ධිය ඔඩ්ඩුසුඩාන් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.ජී.ජී. රත්නායක මහතාගේ උපදෙස් මත විශේෂ කණ්ඩායමක් සිසුන් සොයා පිටත් වී ඇත.

මුතියංකට්ටු රක්ෂිතය වලසුන් හා දිවියන්ගෙන් ගහන රක්ෂිතයක්වීම හේතුවෙන් ආරක්ෂක අංශ උපදෙස් ලබාදී ඇත්තේ ගලවාගැනීමේ මෙහෙයුමක් සඳහා හෝ රක්ෂිතයට ඇතුළුවීම අනතුරුදායක බව යැයිද පොලිසිය කියයි.

සිසුන්ගේ ජීවිත අවදානමක තිබීම හේතුවෙන් පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් කණ්ඩායමක් සමඟ රක්ෂිතයට ඇතුළු වී රාත්‍රිය පුරා සෝදිසි කර උදෑසන සිසුන් සොයා ගනු ලැබ තිබේ.

පොලිසිය පැවසුයේ සිසුන් පිරිස සොයාගන්නා විට ඔවුන් ආරක්ෂාවට ගසක් මත නැගසිටි බවත්, සියලුම සිසුන් නිරුපද්‍රිතව සිටි බවත්ය. ආහාර සහ ජලය ලබාදී සිසුන් කණ්ඩායම ඔඩ්ඩුසුඩාන් පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව යළි විශ්ව විද්‍යාලය බලා පිටත්කර යැවිය.

ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.ජී.ජී. රත්නායක, උප පොලිස් පරීක්ෂක චාමර ජයරත යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් හා ප්‍රදේශවාසීහු කිහිප දෙනෙක් සිසුන් ගලවාගැනීමේ මෙහෙයුම සඳහා එක්ව සිටියහ.

- සිතුම් චතුරංග -