වසර දෙකහමාරකට පෙර බාල වයස්කාර දියණියක අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක් කළ තිදරු පියකුට වසර 48ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් හා රුපියල් 4500ක දඩ මුදලක් හම්බන්තොට මහාධිකරණ විනිසුරු ඒ.එන්. ජයකි ද අල්විස් මහත්මිය ඊයේ (16) නියම කළාය.
2018.03.01 වන දින සිට අවස්ථා කිහිපයකදීම බාලවයස්කාර දියණිය අපයෝජනයට ලක්කර ඇති අතර ඇය මේ පිළිබඳව සිය මවට පවසා තිබේ. ඒ අනුව මව සිද්ධිය සම්බන්ධයෙන් 2018.05.14 දින තිස්සමහාරාම පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

ඒ අනුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මූලික නඩු විභාගය පවත්වා තිබේ.

පසුව සිද්ධියට අදාළව නීතිපතිවරයා සැකකරුට එරෙහිව චෝදනා තුනක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කළේය. ඒ අනුව හම්බන්තොට මහාධිකරණ විනිසුරු ඒ.එන්. ජයකි ද අල්විස් මහත්මිය හමුවේ ඊයේ (16) නඩුව කැඳවූ අවස්ථාවේ චූදිත සියලු චෝදනාවලට වරද පිළිගත්තේය.

චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චිරන්තක පළුගස්වැව මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙලෙස කරුණු ඉදිරිපත් කළේය.

මෙම විත්තිකරු අධිකරණය හමුවේ සිය වරද පිළිගත්තා. තමා අතින් සිදු වූ වරදට තමන් පශ්චාත්තාප වන බවත් දියණිය සාක්කි කූඩුවට නැග සාක්ෂි දීමේදී ඇය අපහසුතාවට ලක්වේය යන බියක් පවතින බවත් සමාජයේ යහපත් පුරවැසියකු ලෙස ඉදිරියේදී සමාජයට යළි පැමිණීමට හැකි වන පරිදි ලිහිල් දඩුවමක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිනවා.

පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ රජයේ නීතිඥ ගයාන් පෙරේරා මහතා මෙලෙස පැවසීය.

මෙම සිදුවීමට අදාළ විත්තිකරු දැරියගේ පියා මව නිවසින් පිටව ගිය අවස්ථාවලදී තමයි මෙම දැරිය දූෂණයට ලක්කර තිබෙන්නේ. පියා අතින් දැරිය දූෂණය වන මුල් අවස්ථාවේ ඇය මේ බව කාටවත් කියා නැහැ. කෙසේ වෙතත් දිගින් දිගටම පියා දැරිය දූෂණය කිරීම නිසා දිනක් මව රැකියාවට යන්න සූදානම් වන අවස්ථාවේ දියණිය මවට රැකියාවට නොයන ලෙස පවසා හඬා වැටී තිබෙනවා. මට රැකියාවට නොගොස් නිවසේ රැඳී නොසිටින්නේ නම් තමන් පාසල් නොයන බව දැරිය මවට පවසා තිබෙනවා. එහිදී මව තමන් ගෙදර වියදමට මුදල් උපයන්න යන රැකියාවටවත් සහායක් දෙන්න බැරිනම් ජීවත් වෙලා වැඩක් නෑ කියා සියදිවි නසා ගැනීමට උත්සාහ කර තියෙනවා.

එහිදී තමයි බාලවයස්කාර දියණිය මේ සිදුවීම පිළිබඳව මවට හෙළි කරන්නේ . ඒ අනුව මේ සියලු කරුණු සලකා බැලීමේදී මෙම වරද ඉතාම දරුණු ගණයේ අපරාධයක් බවත්, ඉතාම සංවේදී තත්වයක් බවත් සැලකර සිටිනවා. එමෙන්ම මෙම විත්තිකරුගේ ප්‍රකාශ ලබා ගැනීමේදී ඔහු පවසා තිබෙන්නේ රාත්‍රි කාලයේදී බීමතින් නිවසට පැමිණි බවත් එහිදී බිරිඳ දියණියන්ගේ වෙනස තමන්ට හැඳුනාගැනීමට නොහැකි වූ බවත්ය.

ඒ නිසා මෙවැනි වරදක් කළ අයකුට අවමය වසර 15ක බර වැඩ සහිත සිර දඩුවමක් හා උපරිමය වසර 20ක සිරදඬුවමක් මෙන්ම දඩයක් නියමකර වන්දි මුදලක් ලබා දීමට අධිකරණයට නියෝග කිරීමේ අභිමතය තියෙනවා. එමෙන්ම විශේෂයෙන්ම මේ තත්වය මේ වන විට පිළිකාවක් වගේ පැතිර යන බවත්, මෙවැනි වැරැදි කරන පුද්ගලයන්ට දෙන දඬුවම් මෙවැනි වැරදි කරන අනෙක් පුද්ගලයන්ටද ආදර්ශයක් වන ආකාරයෙන් දෙන ලෙසත් ඉල්ලා සිටිනවා යැයි පැවසීය.

විත්තිකරුට ලැබුණු මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීම ඇතුළුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලු හම්බන්තොට මහාධිකරණ විනිසුරු ඒ. එන්. ජයකි ද අල්විස් මහත්මිය විත්තිකරුට දඬුවම් නියම කළාය.

ඒ අනුව විත්තිකරුට එරෙහිව නගා තිබූ චෝදනා තුන සඳහා එක් චෝදනාවකට වසර 16 බැගින් චෝදනා 03 සඳහා වසර 48ක බරවැඩ සහිත සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එම දඩුවම් කාලය වසර 16ක කාලයකින් එකවර ගෙවී යා යුතු බවටද නියෝග කළාය.

මීට අමතරව එක් චෝදනාවක් සඳහා රුපියල් 1500 බැගින් චෝදනා තුන සඳහා රුපියල් 4500 ක දඩ මුදලක් නියම කළ අතර එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 18ක බරවැඩ සහිත සිර දඩුවමක්ද නියම කළාය. වසර 16ක සිර දඩුවම් කාලය අවසන් වූ පසු එම දඬුවම් කාලය ආරම්භ විය යුතු බවටද නියෝග කළාය. විත්තිකරු වෙනුවෙන් නීතිඥ චිරත්තක පළුගස්වැව මහතා පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ ගයාන් පෙරේරා මහතා පෙනී සිටියේය.

- දිලීප් ජයසේකර -