මුහුණු පොත හරහා සංවිධානය කර පිළියන්දල කැස්බෑව විකල්ප මාර්ගයේ  යතුරුපැදි තරගයක් පැවැත්වූ තරුණයන් 36 දෙනකු සහ යතුරුපැදි 27ක් අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
පොලිස් හදිසි ඇමතුම් අංශයේ 119 දුරකතන අංකයට ලැබුණු තොරතුරක් අනුව පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත්, පරිපාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කමල් කොඩිතුවක්කු මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරින් විසිදෙනකුගෙන් පමණ සමන්විත පොලිස් කණ්ඩායම් තුනක් වැටලීම සිදුකර මෙම සැකකාර තරුණයන් පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.‍


මුහුණු පොත හරහා සංවිධානය කර තිබූ මෙම යතුරුපැදි තරගය සඳහා  යතුරුපැදි දෙක බැගින් ජාලියගොඩ සිට කැස්බෑව තෙක් විදුලි සංඥා පුවරු අතර වරින් වර තරගයට ධාවනය කර එමගින්  තෝරා ගන්නා ජයග්‍රාහකයන් අවසන් වටයට තෝරා ගැනීම සඳහා ඒ අයුරින් වරින් වර ධාවනයේ යෙදවීම සිදු කර තිබූ බව පොලිසිය කියයි.

අධික ශබ්ද නගමින් නළා ද භාවිත කරමින් මධ්‍යම රාත්‍රී 12ට පමණ ආරම්භ කර තිබූ මෙම යතුරුපැදි තරගයට සහභාගී වී සිටි මෙම තරුණයන් සියලුම දෙනා නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් අපරීක්ෂාකාරී සහ අන්තරාදායක ලෙස යතුරුපැදි ධාවනයේ යෙදෙන අයුරු රහසිගතව වීඩියෝ දර්ශන ලබා ගැනීමෙන් අනතුරුව වැටලීම කළ බව පොලිස් නිලධාරියා පැවැසීය.

මෙම යතුරුපැදි තරගයට සහභාගී වූ තරුණයන් මුහුණු පොත හරහා සම්බන්ධව තිබූ බැවින් එකිනෙකා නොහඳුනන බව ද ඔවුන් පිළියන්දල, බණ්ඩාරගම, මහරගම, දෙහිවල, ගල්කිස්ස, හෝමාගම ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද පොලිසිය කියයි.


සැකකාර තරුණයන් සියලුම දෙනා කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න, පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහත්වරුන්ගේ උපදෙස් මත පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සනත් රංජිත්, පරිපාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කමල් කොඩිතුවක්කු මහත්වරු පරීක්ෂණ පවත්වති.

(බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ)