යේ (ජුලි 26) දිනය තුළ නව ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසා තිබුණි.වැලිකඩ බන්ධනාගාරයෙන් එක් පුද්ගලයෙකු ඒ අතර විය. අනෙක් අය වූයේ සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ
රැඳවියන් පස් දෙනෙකු, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින් ආශ්‍රය කළ එක් පුද්ගලයෙකු, එම පුනරුත්ථාපන මධ්‍යස්ථාන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සහ විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් හතර දෙනෙකුය.

ඊයේ වැලිකඩ බන්ධනාගාරයෙන් හමු වූ ආසාදිත රැඳවියා වැලිකඩ බන්ධනාගාරයට ගෙන ඒමට පෙර ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිට ඇති බව ද අනාවරණය වී ඇති අතර මේ වනවිට ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් ඇතුළු නිලධාරීන් 200 ක් පමණ PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙයි. ඒවායේ ප්‍රතිඵල අනුව ඉදිරි කටයුතු සිදුකරන බව සඳහන්ය.
මොහු වැලිකඩ බන්ධනාගාරයේ සිට බූස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට නියමිතව සිටි අයෙකු බව ද වාර්තා වූ අතර ආසාදනය හඳුනාගත් පසු එය අවලංගු කර ඇත.
මේ කියන රැඳවියා වැලිකඩ බන්ධනාගාර රෝහලේ ද ප්‍රතිකාර ලබාගෙන ඇති බැවින් එම රෝහලේ කාර්යය මණ්ඩලය ද PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට තීරණය කර ඇත.