උණ රෝග ලක්‍ෂණ මතුවීම නිසා අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර සිටියදී ඉකුත් 23 වැනිදා රෝහලෙන් පලා ගිය 22 හැවිරිදි තරුණයා කොරෝනා රෝගය ආසාදනය වී නැති බව පී.සී.ආර්. පරික්‍ෂණයේදී තහවුරු වුණ බව එම රෝහලේ වෛද්‍යවරයෙක්  ඊයේ (26) පැවැසීය. ගෙවල් බිඳුම් කිහිපයක් සම්බන්ධයෙන් මත්තේගොඩ
පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් මෙම 22 හැවිරිදි තරුණයාට

උණ රෝගී ලක්‍ෂණ මතුවී තිබීම නිසා ප්‍රදේශයේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා දැනුවත් කර ඔහුගේ උපදෙස් මත මොහු 1990 සුවසැරිය ගිලන් රථයකින් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර තිබිණ. මෙම සැකකාර තරුණයා රෝහලට ඇතුළත් කිරිමෙන් පසු පී.සී. ආර්. පරික්‍ෂණ සඳහා අවශ්‍ය ජෛව පටල සාම්පල ලබාගෙන එම පරික්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තෙක් රෝහලේ නේවාසිකව තබා සිටියදී ඉකුත් 23 වැනිදා අලුයම ඔහු රෝහලෙන් පැන ගියේය.

මෙම තරුණයාට කොවිඩ් වයිරසය වැළදී නොමැති බව පී.සී. ආර්. පරික්‍ෂණයෙන් පසුව තහවුරු වී ඇතැයි ද එම වෛද්‍යයවරයා වැඩිදුරටත් කීය. මෙසේ රෝහලෙන් පලාගොස් ඇත්තේ ඇඹිලිපිටිය ගනේයාය ප්‍රදේශයේ පදිංචි තරුණයකු වන අතර ඔහු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව මත්ත‍ෙගොඩ පොලිසිය කියයි. පලාගිය මෙම තරුණයා ගැන සියලුම පොලිස් ස්ථානවලට විශේෂ පොලිස් පණිවිඩයක් මගින් දැනුම් දී ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය-