සුගිය දිනවල කෝවිඩ්-19 වසංගතයේ නවතම පොකුරට තෝතැන්නක් වූ කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය පිහිටියේ දුර ඈත පොළොන්නරුව ප්‍රදේශයේ මහවැලි ගඟ ගලා බසින, වල් අලින්ට නිවහනක් වූ මනස්කාන්ත වන අරණක් පසුබිම් කරගෙනය.
කොරෝනා වෛරස් රෝගයට ගොදුරු වූ මෙම ආයතනයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිළිබඳව
සමාජ මාධ්‍ය පුරා වේගයෙන් පුවත් පැතිර යද්දී මෙම ස්ථානය කොරෝවෙන් ආරක්ෂා කිරීමට ගන්නා ලද පියවර පිළිබඳව සහ  මේජර් ‍ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කර තිබේ.
ඔහු ජනතාවට උනන්දු කළේ කැප වී සේවය කරන, තමන්ගේ වගකීමටත් එහා ගොස් වැඩ කරන එම සේවකයන්ට නින්දා අපහාස එල්ල කිරීමෙන් වළකින ලෙසය.

“මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින පුද්ගලයන්ගේ මනස් සන්සුන් කිරීම සඳහා සහ ඔවුන්ව නැවත සමාජයට යැවීම සඳහා කාර්යමණ්ඩලයේ සාමාජිකයන් බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කරනවා. මෙවුන්ගේ පවුල්වල සාමාජිකයන් මොවුන් නිසා තමන්ට ඇති වී තිබෙන ගැටලු ගැන පවසනවා. තමන්ගෙම අම්මාගේ බෙල්ල හිර කිරීම, තමන්ගේ පවුලේ සාමාජිකයන්ගේ දේවල් සොරකම් කිරීම සහ මත්ද්‍රව්‍ය මිල දී ගැනීමට මුදල් අවශ්‍ය වූ විට නිවෙස්වල ඇති කරන ප්‍රශ්න වැනි අමිහිරි කතා ඒවාට අයත්. මේවාට ඇහුම්කන් දෙමින් කාර්යමණ්ඩලය පැය ගණන් එක දිගට වැඩ කරනවා. ඔවුන්ට වැඩ කිරීමට සිදු වී තිබෙන්නේ මෙවන් පිරිසක් සමඟ. ඇත්තටම කාර්යමණ්ඩලයේ පුද්ගලයන් සිදු කරන්නේ විශාල සේවයක්” ඔහු පැවසීය.

මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයට නුදුරින් තිබෙන කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය දැන් ක්ෂේත්‍ර රෝහලක් බවට පත් කර ඇති අතර එහි 357 දෙනෙක් ප්‍රතිකාර ලබයි.

“මෙහි සිටින ආසාදිතයන්ගෙන් සියයට අනූවක් තුළම කෝවිඩ්-19 රෝග ලක්ෂණ නොපෙන්වන අතර සාමාන්‍ය තත්ත්වයේ පසු වේ. වෛරසය ආසාදිත බව දැනගත් කාර්යමණ්ඩල සාමාජිකයාටද උණ නොතිබූ අතර යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පෙනෙන්නට තිබුණි. තවත් රෝගාබාධ තිබෙන, වෛරසය සමඟ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දීමට ඉඩ තිබෙන පුද්ගලයන්ව වැලිකන්ද රෝහලට සහ වසංගත රෝග පිළිබඳව ජාතික ආයතනයට (NIID) යවනු ලැබුවා. ක්ෂේත්‍ර රෝහලේ සිටින පුද්ගලයන්ව බලාගන්නේ වෛද්‍ය කාර්යමණ්ඩලයක් ඇතුළු හමුදා නිලධාරීන් විසින්. පොළොන්නරුව රෝහලේ සිටද විශේෂඥයන් නිතිපතා පැමිණෙනවා” මේජර් ජනරාල් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

 පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින සියල්ලන් අවුරුදු 18ත් 70ත් අතර පුද්ගලයන්ය. ඒ අතරින් වැඩි ප්‍රමාණයක් (සියයට 85ක් පමණ) අවුරුදු 45ට අඩු පුද්ගලයන්ය. ඒ අතරිනුත් වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ අවුරුදු 18ත් 25ත් අතර පුද්ගලයන්ය. ඔවුන් ශ්‍රී ලංකාව තුළ විවිධ පවුල් සහ සමාජ පසුබිම්වලින් පැමිණි තිබේ. දරිද්‍රතාවයෙන් පෙළෙන සමාජයේ සිට මධ්‍යම පාන්තික සමාජය සහ පොහොසත් සමාජය දක්වා පසුබිම්වලින් පැමිණි පුද්ගලයෝ ඒ අතර වෙති. ඇතැමුන් ප්‍රසිද්ධ පාසැල්වල හොඳ ඉගෙනුමක් ලබා ඇති අතර අනෙක් පුද්ගලයන් එතරම් ප්‍රසිද්ධ නොවන පාසැල්වල එතරම් හොඳ අධ්‍යාපනයක් ලබා නොමැතිය. ඔවුන්ගේ වෘත්තීන්ද දිනපතා ශ්‍රමය ලබා දීම සිට ස්ථිර රැකියා දක්වා වෙනස් වේ.

කන්දකාඩු පොකුරේ ආරම්භය කුමක්ද කියා තවමත් ස්ථිර නිගමනයකට එළඹ නොමැති බව මේජර් ජනරාල්වරයා අවධාරණය කරයි. සාමාන්‍යයෙන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට එහි සියලු රැඳවියන් එවනු ලබන්නේ අධිකරණය මගින්ය. නමුත් මැයි මාසයේදී කොළඹ තුළ සහ අවට මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පුද්ගලයන් අල්ලාගැනීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වී තිබේ. එසේ අල්ලාගත් පුද්ගලයන් 24දෙනෙක්ව හමුදාව මගින් පවත්වාගෙන යන ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයටත් තවත් 44දෙනෙක් ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යන මුලතිවු නිරෝධායන මධ්‍යස්ථානයටත් යොමු කර ඇති බව සඳහන්ය. එම පුද්ගලයන්ගේ RT-PCR පරීක්ෂණද සිදු කර තිබේ. ඉන්පසු ඔවන්ව මැයි 6 සහ 12 යන දිනයන්වලදී ඔවුන්ව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යවනු ලැබූ බව සඳහන්ය. ඒ වන විටත් පුනරුත්ථාපනයේ සිටි පුද්ගලයන් සමඟ ඔවුන්ද එකතු වූ විට මුළු අගය 472ක්ය.

අසාදනය ව්‍යාප්ත වීමට පටන්ගත්තේ එවිටද කියා සැකයක් පවතී. නමුත් සෑම දිනකම ‍අසනීප තත්ත්වයන් පිළිබඳව සොයාබැලීමේදී කිසිම අසාමාන්‍ය රෝගී තත්ත්වයක් දක්නට නොලැබුණ බව සඳහන්ය. අසනීප ගතියක් දැනුණ පුද්ගලයන්ව පරීක්ෂා කිරීමට පොළොන්නරුව රෝහලේ වෛද්‍යවරුන් පැමිණ තිබෙන අතර ඔවුන්ට ප්‍රතිකාර ලබා දීමෙන් පසු සුව වී තිබේ. “කිසිම අසාමාන්‍ය රෝග ලක්ෂණ පෙන්වීමක් දක්නට නොවීය. සැත්කම් සඳහා පවා අප ඇතැම් රැඳවියන්ව පොළොන්නරුව රෝහලට රැගෙන ගියෙමු.

අගුළු දැමීමේ කාල සීමාව පුරාවට රැඳවියන්ව බැලීම සඳහා පිටස්තර පුද්ගලයන්ට අවසර ලබා නොදුන් බවත් කන්දකාඩු පිටස්තරයන් සඳහා විවෘත කළේ ජූලි 4වෙනිදා බවත් මේජර් ජනරාල්වරයා සඳහන් කර තිබේ. නමුත් සමාජ දුරස්ථභාවය, අත් සේදීම සහ මුහුණු ආවරණ පැළඳීම වැනි සෞඛ්‍යාරක්ෂිත උපදෙස්වලට තදින් ඇලී සිටිමින් එලෙස විවෘත කළ බවත් ඔහු පවසයි. එදින රැඳවියන්ව බැලීමට ආ කිසිම පවුල් සාමාජිකයෙකුට මේ වන තෙක් කොරෝනා වෛරසය ආසාදනය වූ  බවට වාර්තා‍ නොවේ.

ජූලි 4 වෙනිදා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට රැඳවියන්ගේ පවුල් සාමාජිකයන් 116ක් පැමිණ ඇති බවට තොරතුරු ලැබී ති‍බේ. ඒ අතර තම දරුවන්ව බැලීමට ආ දෙමාපියන්, තම සහෝදරයන්ව බැලීමට ආ පුද්ගලයන්, තම ස්වාමිපුරුෂයන් සහ පියවරුන් බැලීමට ආ භාර්යාවන් සහ දරුවන් අයත් විය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින්නේ කවුද?

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇබ්බැහි වූවන් අතර තරුණයෝද වෙති. එවැනි එක් තරුණයෙකු පාසැල් වියේදී සිටි පුද්ගලයා නොවන බව ඔහුගේ දෙමාපියන් තේරුම්ගත්තේ ඔහුට 21 හැවිරිදි වියේදීය.

ගාල්ලේ ජීවත් වූ ඔහු එම ප්‍රදේශයේම පාසැලක අධ්‍යාපනය ලබා සාමාන්‍ය පෙළ විභාගයෙන් හොඳින් සමත් විය. නමුත් තවදුරටත් අධ්‍යාපනය ලබාගැනීමට ඔහුට උනන්දුවක් නොවීය. පසුගිය අවුරුද්‍දේ ඔහු ගොඩනැඟිලි ඉදි කිරීම් ක්ෂේත්‍රයේ සේවකයෙක් ලෙස වැඩ කළ අතර ඔහුගේ චරිතයේ වෙනස් වීමක් දක්නට ලැබීය. ඔහුගේ පියා හිටපු හමුදා භටයෙකු වන අතර දැන් ඉදි කිරීමේ වැඩවල යෙදෙයි.

මෙම තරුණයාගේ මව ඇඟළුම් කම්හලක සේවය කරන අතර ඔහුගේ සහෝදරියන් දෙදෙනා තවම ඉගෙනුම ලබයි.

නමුත් ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවත් මෙම අවුරුද්දේ ජනවාරි මාසයේදී කන්දකාඩු වෙත යැවීමට නියමිත බවත් ඔවුන්ට දැනගන්නට ලැබීය. මාස කිහිපයක් පුරාවට අගුළු දැමීම හේතුවෙන් ඔහුව දැකගන්නට නොලැබූ නිසා ජූලි 4වෙනිදා ඔහුව දැකගැනීමට ඔවුන් පසු වූයේ ඉමහත් ආශාවෙන්ය. කෙසේවුවද පුතාව බැලීමට ගොස් දින කිහිපයකට පසුව පුතා ආසාදනය වී නොමැති බව වෛද්‍ය වාර්තා පෙන්වා දුන්නද ඔවුන්ට දින 14ක් පු‍රාවට රතඹලේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වීමට සිදු විය.

වැල්ලම්පිටියෙන්ද මෙවැනි පුවතක් වාර්තා වේ. 5දෙනෙකුගෙන් යුත් පවුලක පුත්‍රයා අවුරුදු 18දී දරුණු ලෙස ඇබ්බැහි වූ පුද්ගලයෙක් බවට පත් විය. දැන් අවුරුදු 26ක් වන ඔහු එක්වරක් පුනරුත්ථාපනය වුවද නැවත එම පුරුද්දට වැටී‍ම හේතුවෙන් දෙවන වරට කන්දකාඩු වෙතට යොමු කර තිබිණ.

ජූලි 4වෙනිදා ඔහුව බැලීමට යෑමට අවස්ථාව ලැබීම පිළිබඳව ඔහුගේ මව සහ සහෝදරිය සතුටු විය. දින කිහිපයකට පසුව ඔවුන් නිරෝධායනය විය යුතු බව ඔවුන්ට දැනුම් දෙන ලදි.

‘පුතාට ආසාදනය වී නොමැති වීම පිළිබඳව අපට සතුටුයි’ ඔහුගේ මව පැවසීය.

ගම්පහ තවත් පවුලක 52 හැවිරිදි පියා සිටින්නේ මෙම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේය.

ඔහුට යමක් සිදු වී තිබෙන බව දැනගත් විට ඔවුන්ගේ ජීවිතය වෙනස් වූ අයුරු ඔහුගේ බිරිඳ සිහිපත් කරයි. කෙටි කලක් ඇතුළත ඔහු බේකරියක සිදු කරමින් සිටි රැකියාව කරගැනීමට ඔහුට නොහැකි වූ අතර ඔහු ඇබ්බැහි වී ඇති බවට දැනගෙන තිබෙන්නේ ඔහු සමඟ රැකියාවේ නිරත වන පුද්ගලයන්ය. අවුරුදු 26ක් සහ 18ක් වන පුතුන් දෙදෙනෙක් සිටින ඇය කියා සිටියේ තම දරුවන් නම් කිසිම හානිකර පුරුද්දකට ඇබ්බැහි වී නොමැති බවය. රියැදුරෙක් ලෙස කටයුතු කරන වැඩිමල් පුතා විවාහක වන අතර කුඩා දියණියකට සහ පුතෙකුට පියෙක් වෙයි. 18 හැවිරිදි බාල පුතා උසස් පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තුවෙන් සිටී.

තම සැමියාව කිසිම දිනක අත්අඩංගුවට නොගත් බවත් පියා හේතුවෙන් තම දරුවන්ට අපහසුතාවයට පත් වීමට ඉඩ තැබිය නොහැකි නිසා ඔහුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යැවීමට පියවර ගත් බවත් බිරිඳ සුසුමක් හෙළමින් පැවසීය.

“අමාරු වුණත් ඔහුව හොඳ පුද්ගලයෙක් බවට පත් කිරීමේ වගකීම මම භාරගත්තා” ඇය පැවසීය.

ජූලි 4වෙනිදා ඔහුව බැලීමට යෑමෙන් දින කිහිපයකට පසුව ඇය නිරෝධායනය විය යුතු බව දන්වමින් ඇයට ඇමතුමක් ලැබුණි. “සන්ඩේ ටයිම්ස්” පුවත්පත විසින් ඇයව සම්බන්ධ කරගන්නා විට ඇගේ ස්වාමිපුරුෂයාට වෛරසය ආසාදනය වී නොමැති බවට වෛද්‍ය පරීක්ෂණ වාර්තාව ලැබී තිබූ අතර ඇගේ පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් ඇය බලා සිටියාය.

මේ අතරේ අලුත විවාහ වූ තරුණියකගේ කතාවද අසන්නට ලැබීය. පෙබරවාරි 17වෙනිදා ඔහුගේ දෙමාපියන් බලන්නට ගිය ඇගේ සැමියා නිවසට පැමිණ නැත. ඇය 30 හැවිරිදි වියේ පසු වූ අතර ඇගේ සැමියා 33 හැවිරිදි වියේ පසු විය. ඔවුන් විවාහ වී තිබෙන්නේ ජනවාරි මාසයේදීය. මහරගම ප්‍රදේශයේ පදිංචියට පැමිණීමෙන් පසුව ඇයද වෙළඳ සැලක රැකියාවක් ආරම්භ කර තිබේ. පෙබරවාරි 22 වෙනිදා ඔහුව අත්අඩංගුවට ගෙන තිබූ අතර මාර්තු 15වෙනිදා එක් අවුරුද්දක් සඳහා ඔහුව කන්දකාඩු වෙත යවනු ලැබීය.

“මගේ මහත්තයාගේ පවුලේ අය අපේ විවාහයට විරුද්ධ විය. ඔහු මත්ද්‍රව්‍ය ගත්තා. නමුත් පවුලේ අය ගැනත් සිතුවා. ඔහුගේ මව පිරිසිදු කිරීමේ සේවිකාවක්‍. පියාට රැකියාවක් තිබුණේ නැහැ. ඔහුගේ වැඩිමහල් සහෝදරියන් 4දෙනා කවදාවත් දෙමාපියන්ට උදව් කළේ නැහැ. නමුත් මගේ සැමියා උපයන දෙයින් දෙමාපියන්ව බලාගත්තා” කියා ඇය පැවසීය.

විවාහය පිළිබඳව ඇති වූ කේන්තිය හේතුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් ඔහුව පොලීසියට භාර දුන් බව ඇගේ අදහසය. ශෝකයෙන් පසු වූ ඇය ජූලි 4වෙනිදා ඔහුව බැලීමට ගිය බවත් ජූලි 9වෙනිදා ඇයට ස්වයං නිරෝධායනය වීමට සිදු වූ බවත් ඇය සඳහන් කළාය. ඇගේ ස්වාමිපුරුෂයාට වෛරසය ආසාදනය වී නොතිබිණ.

(“සන්ඩේ ටයිම්ස්” ඇසුරිනි)
එස්.දහනායක