කන්දකාඩු කොඩිඩ් -19 විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයන් දෙපිරිසක් අතර පෙරේදා (21) රාත්‍රියේ ඇති වූ ගැටුමකින් පස් දෙනකු තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලිසිය පවසයි.
තුවාලකරුවෝ ප්‍රතිකාර සඳහා වැලිකන්ද කොවිඩ් - 19 විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කරනු ලැබ සිටිති.

කන්දකාඩු කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කරනු ලැබ සිටී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරුණු කන්දකාඩු හා සේනපුර මධ්‍යස්ථානවලින් හමු වූ කොරෝනා ආසාදිතයන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන තිබූ බව පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් අප පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතාගෙන් කළ විමසුමක දී ඔහු පැවසුවේ මෙම තුවාලකරුවන්ගේ තත්වය බරපතළ නැති බවයි. කිසියම් බහින්බස්වීමක් දුරදිග යෑමෙන් ගැටුම හටගෙන තිබූ අතර දෙපිරිස මෙහි දී අතින් පයින් මෙන්ම කොසු ඉදල් ආදියෙන්ද එකිනෙකාට පහර දී ඇතයි ද කියති. මධ්‍යස්ථානයේ ආරක්ෂක කටයුතු බාරව සිටින හමුදා භට පිරිසක් මෙහිදී වහා ක්‍රියාත්මකවී ගැටුම සමථයට පත්කර ඇත.

කන්දකාඩු කොව්ඩ් -19 විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කෙරුණු වැලිකන්ද සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමු වූ කොරෝනා ආසාදිතයෝ 84 දෙනෙක් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කෙරුණු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ කොරෝනා ආසාදිතයෝ 279 දෙනෙක් දැනට ප්‍රතිකාර ලබති.

ගැටුම හටගෙන ඇත්තේ මේ දෙපිරිසක් අතරේය. සිද්ධිය සම්බන්ධයෙන් වැලිකන්ද පොලිසියේ නිලධාරීහු පරික්ෂණ පවත්වති.

- සුජිත් හේවාජුලිගේ -