මීට දශක හයකට පමණ පෙර මිස් සිලෝන් කිරුළ පැළඳූ ජෙනිෆර් ඉන්ග්ලෙටන්ගේ මරණය හා සම්බන්ධ අභිරහස පිළිබඳ මින් පෙර කරුණු අනාවරණය විය. මේ වනවිට ඒ ගැන වැඩිදුර තොරතුරු වාර්තාවී තිබේ.
78 හැවිරිදි ජෙනිෆර් දිවි ගෙවූයේ බො‍රැල්ලේ කොටා ටෙරසයේ පිහිටි නිවසකය. ඇගේ ජීවිතයේ අවසන් වසර කිහිපය තුළ ඇය
ප්‍රධාන මාර්ගයෙන් එහා පැත්තේ පිහිටි කුඩා කඩයකින් ආහාර ලබාගැනීමට පුරුදු වී සිටියාය. ඇයට ඇවිදීමේ අපහසුතාවයක් තිබූ නිසා ඇය මාර්ගය දිගේ නාමෙල් මාලිනි පුංචි රඟහල දෙසට ඇවිද ගොස් පාරෙන් එහා පැත්තේ පිහිටි කඩයෙන් ඇගේ ආහාර ගෙනැවිත් දෙන තෙක් බලා සිටියාය. ඇගේ මිතුරන් පවසන පරිදි 2018දී ඇය අමුත්තෙක් සමඟ මිත්‍ර වූයේ මෙසේ ඇවිද යන අතරතුරදීය.
ක්‍රියාශීලී කාන්තාවක් වූ ජෙනිෆර් ඉන්ග්ලෙටන් 1962දී මිස් සිලෝන් කිරුළ හිමි කරගැනීමට සමත් විය. බොහෝ පුද්ගලයන්ට ආදරණීය මිතුරියක වූ ඇය පිළිබඳව ඇගේ ඥාතීන් සහ මිතුරන් සිහිපත් කරන්නේ ශක්තිමත්, දක්ෂ සහ නිදහස් ව්‍යාපාරික කාන්තාවක් ලෙසය. කාලයක් පුරා පැවති අසනීප තත්ත්වයක් සමඟ පොරබැඳූ ඇය ජූලි 17වෙනිදා ජීවිතයෙන් සමුගත්තාය.
කෙසේ වුවද ජෙනිෆර්ගේ කිට්ටු ආශ්‍රිතයන් සහ ඥාතීන් පවා නොදන්නා නොහඳුනන පුද්ගලයෙකු ඇගේ මරණින් පසුව කොටා ටෙරසයේ පිහිටි ඇගේ දේපළට අයිතිවාසිකම් කියන්නේ කෙසේද යන්න බොහෝ දෙනෙකුට ගැටලුවක් වී තිබේ.
ජෙනිෆර්ගේ අර්ධ සහෝදරයා වූ ටෝනි හෝක්ව සම්බන්ධ කරගැනීමට සති අන්ත පුවත්පතකට හැකි විය. ඔහු කියා සිටියේ පසුගිය වසර තුළදී පුද්ගලයෙකු විසින් ජෙනිෆර්ව ඇගේම නිවස තුළ කොටු කර තබා තිබූ බවත් ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදුන් බවත්ය.

ජෙනිෆර් විවාහ දිවියට ඇතුළු වූයේ Daffy’s ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛ සාර්ථක ව්‍යාපාරිකයෙකු වූ ඩී. ඒ. එෆ් ඉන්ග්ලෙටන් මහතා සමඟය. නමුත් ඔහුගේ මරණය හේතුවෙන් ජෙනිෆර් වැන්දඹුවක් විය. මෙම යුවළට තමන්ගේම දරුවන් නොසිටි අතර ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ කිට්ටු නෑදෑයන් සිටියේද නැත. නමුත් ශ්‍රී ලංකාවෙන් පිටත ඔවුන්ගේ නෑදෑයන් සහ මිතුරන් වාසය කරයි.
“ජෙනිෆර් දිගටම හිටියේ අංක 5, කොටා ටෙරසය, කොළඹ 8 යන ලිපිනයේයි. මෙම දේපළ ඇගේ දෙමාපියෙක්ගේ නැන්දා වූ සිබිල් මෙයර්ගෙන් ඇයට කෙළින්ම ලැබුණ එකක්. සිබිල්ව සහ ජෙනිෆර්ගේ ආච්චි වූ හෙලන් විවියන් කෙලාට් නී මෙයර්ව ප්‍රධාන වශයෙන් රැකබලාගත්තේ ජෙනිෆර් විසින්. ඒ ආකාරයෙන් මෙය අපේ පාරම්පරික නිවසයි” හෝක් සඳහන් කළේය.
ජෙනිෆර්ගේ සැක සහිත මරණය ඩේලි මිරර් පුවත්පතේ වාර්තා වීමෙන් පසුව අතීතයේ රූ රැජිනක් බවට පත් වූ ඇගේ අවසන් දවස් ගෙවුණ ආකාරය බොහෝ පුද්ගලයන්ගේ කතාබහට ලක් වී තිබේ.
තම පාරම්පරික නිවසේ සිදු වන සැක සහිත ක්‍රියාකාරකම් පිළිබඳව දැනගන්නට ලැබුණු දා සිට ජෙනිෆර්ගේ යහපත පිළිබඳව තමා මූලිකවම සැලකිලිමත් වූ බව හෝක් ස්ථිරව කියා සිටියි.
“අපෙන් කිසිවෙක් දැන නොසිටි පුද්ගලයෙකු ජෙනිෆර්ව පාලනය කිරීමට පටන්ගන්නා තෙක් ඇය තනිව ජීවත් විය” හෝක් පැවසීය. ජෙනිෆර් අසනීප වූ දා සිට වසරකට වැඩි කාලයක් එම පුද්ගලයා‍ ජෙනිෆර්ගේ නිවසේ ජීවත් වී තිබේ.
මිතුරෙක්ද නැත්නම් සතුරෙක්ද?
ජෙනිෆර් තම මහලු වියේදී පවා උද්‍යෝගයෙන් කටයුතු කළ තැනැත්තියක් බව ඇගේ කිට්ටු මිතුරෙක් සඳහන් කරයි.
“මගේ දෙමාපියන් ජෙනිෆර් එක්සත් රාජධානියට ගිය අවස්ථාවේ සිට ඇයව හඳුනනවා. එනම් ඇයට මිස් සිලෝන් කිරුළ ලැබුණ කාලයේ සිට. ඒ කාලයේ පටන් ම‍ගේ දෙමාපියන් ඇගේ පවුලේ කිට්ටු මිතුරන්. මගේ ජීවිත කාලය පුරාම මම ජෙනිෆර්ව දැන සිටියා” ජෙනිෆර්ගේ පවුලේ මිතුරියක පැවසීය.
පෞද්ගලික කාරණයක් සඳහා නැවත ශ්‍රී ලංකාවට පැමිණි මෙම මිතුරියට ඇගේ තවත් මිතුරෙක් මාර්ගයෙන් දැනගන්න ලැබුණේ 2019 දෙසැම්බර් මාසය අතරතුර ඇය හදිසියේ බිම ඇද වැටී තිබූ බවය.
“මේ පිළිබඳව දැනගත් වහාම මම ඇයව බැලීමට රෝහලට ගියා. ජෙනිෆර්ගේ නිවසේ වැඩ කරන කාන්තාව පැමිණ නැති බවත් වැටීමෙන් පසුව ඇය තනිව සිටි බවත් මට එහිදී දැනගන්න ලැබුණා. එමෙන්ම ජෙනිෆර්ව වැටුණු පසුව ඇයව රෝහලට ගෙන යෑම සඳහා පිරිමි පුද්ගලයෙකුට නිවස තුළට පැමිණීමට සිදු වූ බවත් මම එහිදී දැනගත්තා” මිතුරිය සඳහන් කළාය.
මිතුරිය ජෙනිෆර්ව බැලීමට කොළඹ ජාතික රෝහලට ගිය අවස්ථාවේදී ඇගේ ඇඳ අසල තවත් කාන්තාවක් සිටි බව ඇය සඳහන් කරයි.
“මම රෝහලට ගියේ මගේ පුතා සමඟ. ජෙනිෆර් තුවාල වෙලා හිටියේ. ඒත් ඒ වෙද්දී ඇය හොඳින් සිටියා. ඇය මා සමඟ කතා කළා. අපි අතීත දවස් ගැන කතා කළා. මම ඇය සමඟ විනාඩි 45ක් විතර කාලය ගත කළා. එම කාලය පුරාවටම අර කාන්තාව ජෙනිෆර්ගේ ඇඳ එහා පැත්තේ සිටියා” මිතුරිය සිහිපත් කරයි.
ශ්‍රී ලංකාවෙන් පිට වීමට පෙර මෙම මිතුරිය නැවත ජෙනිෆර්ව බැලීමට ගොස් තිබේ.
“ඇගේ ගේට්ටුවට ඉබ්බා දමා තිබුණා. ජෙනිෆර්ව බැලීම සඳහා මට දිගු වේලාවක් ගේට්ටුවෙන් පිටත රැඳී සිටීමට සිදු වුණා. එදා රෝහලේදී දුටු කාන්තාව දොර ළඟට ඇවිත් මගෙන් බොහෝ ප්‍රශ්න ඇසුවායින් පසුව මාව ඇතුළට ගත්තා” මිතුරිය පවසයි.
“පොඩි කාලේ ඉඳන් මම ඕනෙ තරම් ජෙනිෆර්ගේ නිවසට ගිහින් තියෙනවා. වාර ගණන මතක් කරගන්නත් අමාරු තරම්. නමුත් මෙවර මා නිවසට ඇතුල් වූ විට දුටුවේ ජෙනිෆර් පිරිමියෙකු සමඟ ගත් ඡායාරූප නිවස පුරාවට එල්ලා ඇති අයුරුයි. මෙම ඡායාරූප තරමක් විශාලයි, ඉක්මනින්ම දෑසට හසු වෙනවා. අඩුම තරමින් එවැනි ඡායාරූප 6ත් 8ත් ප්‍රමාණයක් තියෙන්න ඇති. මේක හරිම අමුතු දෙයක්. සාමාන්‍යයෙන් ජෙනිෆර් ඇගේ නිවස සරසලා තියෙන විදිහ ලස්සනයි. ඒත් දැන් මොකක් හරි වෙනසක් තිබෙන බව මට තේරුණා” මිතුරිය සඳහන් කළාය.
ජෙනිෆර්ව ඇගේ කාමරයේ තබනවා වෙනුවට සාලයේ ඇඳක් මත තබා තිබූ බවද මිතුරිය සිහිපත් කරයි.
“කෑම ලබා දීම සඳහා ඇගේ නාසයට බටයක් දමා ඇති අයුරු දුටු විට මා කම්පනයට පත් වූවා. ඇය එතරම් එහා මෙහා සෙලවුණේ නැහැ. අපි සාමාන්‍ය දේවල් ගැන කතාබහ කළා. නමුත් මා එහි රැඳී සිටි කාලය පුරාවට කලින් මා රෝහලේදී දුටු කාන්තාව ඇය අසල සිටි නිසා මට ඇය සමඟ පෞද්ගලිකව කතා කරන්න බැරි වුණා.”
“ජෙනිෆර්ට මොනවා හරි ඕනෙද කියලා මම ඇහුවාම ඇය ගාව කණ්ණාඩි දෙක නැහැ කියලා ජෙනිෆර් කිව්වා. එතකොට අර කාන්තාව කිව්වා ඇගේ කණ්ණාඩි දෙක කැඩිලා කියලා. ඒ නිසා අලුත් කණ්ණාඩි දෙකක් අරන් දෙන්නම් කියලා මම කිව්වා. ජෙනිෆර්ට තව මොනවාහරි ඕනෙද කියලා මම ඇහුවාම ජෙනිෆර් කිව්වා ‘ඩාලිං මගේ දුරකථනය විසන්ධි කරලා. මට ‍කෝල් ගන්න විදිහක් නැහැ’ කියලා.”
“මං දන්නවා ‍ජෙනිෆර්ට නිතරම කෝල් කළ ගොඩක් යාළුවෝ සහ පවුලේ අය හිටියා. ඒ නිසා මං හිතුවා ඇගේ දුරකථනය නැවත හදලා දෙන්න කියලා ඒ කාන්තාවට කියන්න. මට තේරුණා මෙතන අමුතු දෙයක් සිද්ධ වෙනවා කියලා. ඒ නිසා මම එක කිව්වේ ගොඩක් කාරුණිකව සහ මිත්‍රශීලිව” මිතුරිය පැවසීය.
එසේ ඇසූ විට පිරිමි පුද්ගලයෙක් නිවසට ඇතුල් වී ඇති අතර ඔහු ජෙනිෆර්ව බලන්න ආ මිතුරියට බැණ වැද තිබේ.
“ඔහු පටන්ගත්තේ මෙහෙම කියලා. ‘කවුද ඔයා ඇත්තට? [සැර වචනවලින් ඇසීය] හැම කෙනෙක්ම රට ඉද්දී ජෙනිෆර්ව බලාගත්තේ මම.’ ඒක ඇහුවාම මම කම්පනයට පත් වුණා. මම කවදාවත් ඒ විදිහට බැණුම් අහලා නැහැ. ඉන්පසුව ඒ පුද්ගලයා මා අසලට ඇවිත් මට පහර දීමට උත්සාහ කළා. හොඳ වෙලේට මා ළඟ සිටි කාන්තාව ඔහුව අල්ලාගත්තා. පසුව ඔහුව එම ස්ථානයෙන් යැව්වා” මිතුරිය පවසයි.
බියට සහ කම්පනයට පත් ජෙනිෆර්ගේ මිතුරිය දැන් වඩාත් සැලකිලිමත් වෙමින් කතා කළාය. තමාට කුසගිනි බව ජෙනිෆර් තම මිතුරියට පවසා තිබිණ. ආහාර ලබා දීම සඳහා බටයක් දමා තිබූ නිසා ජෙනිෆර්ව බැලීමට වෛද්‍යවරයෙකුව රැගෙන විත් මෙම බටය ඉවත් කළ හ‍ැකිදැයි අසා දැනගැනීමට මිතුරිය ‍යෝජනා කළාය.
“එවිට ජෙනිෆර් අසල සිටි කාන්තාව නිවස පිටුපසට ඉක්මනින් ගමන් කර ‘මෙන්න දොස්තරලා ගේන්න හදනවා’ කියා කෑගැසුවාය. ඇය නිවස පසුපසට ගිය මෙම අවස්ථාවේදී ජෙනිෆර් මට කිව්වා, ‘ඩාලිං, ඔයා ඉන්න එපා, යන්න’ කියලා. ‍යන්න කියලා ජෙනිෆර් මට කිහිපවතාවක්ම පැවසුවා.”
මෙම සිදුවීමෙන් පසුව මිතුරිය ජෙනිෆර්ගේ තවත් මිතුරන් කිහිපදෙනෙකුවම අමතා මෙම අමුත්තා පිළිබඳව දන්නවාද කියා විමසා බැලීය. මෙම අමුත්තා පිළිබඳව බොහෝ මිතුරන් දැන සිටියත් ඔහු ජෙනිෆර්ගේ නිවසේ කරන්නේ කුමක්ද කියා ඔවුන් දැන සිටියේ නැත. ජෙනිෆර්ව බැලීමට ගිය අවස්ථාවේදී එම පුද්ගලයා සහ කලින් සඳහන් කළ කාන්තාව පමණක් නොව එම පුද්ගලයාගේ තාත්තාද එම නිවසේ පදිංචියට පැමිණි බවක් පෙනෙන්න තිබූ බව මිතුරිය සිහිපත් කරයි. ඔවුන් එම නිවසේ නිදන කාමර ලබාගෙන තිබූ අතර ජෙනිෆර් සිටියේ සාලයේය.
ජෙනිෆර්ගේ අර්ධ සහෝදරයා වන හෝක් ජීවත් වන්නේ එක්සත් රාජධානියේය. ජෙනිෆර් අසනීප වීමෙන් පසුව ඇයව රැකබලාගන්නා බව මුලින් දැනගත් විට සතුටක් ඇති වූ බව හෝක් පැවසීය.
“ඔවුන් අවංකවම ජෙනිෆර්ට‍ උපකාර කිරීමට බලාපොරොත්තු වුණා කියා අප සිතුවා” ඔහු සඳහන් කළේය. ජෙනිෆර් මුහුණපාන අමුතු තත්ත්වය පිළිබඳව දැනගත් විගස උපකාර ඉල්ලමින් ඔහු බොහෝ පුද්ගලයන්ට ලිපි ලිවීමට සහ දුරකථන ඇමතුම් ලබා දීමට ආරම්භ කර තිබෙන බව සඳහන්ය.

“ජෙනිෆර්ව රෝහලෙන් රැගෙන යා හැකි මට්මට ඇය සුව වූ විට පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් ඇයව ඇගේ නිවසට රැගෙන ගියා. මට දැනගන්න ලැබුණා ඔවුන් එම පුරුෂයාගේ පුතා සහ පියාද සමග බොරැල්ලේ පිහිටි ජෙනිෆර්ගේ නිවසට මාරු වී ඇති බවට” හෝක් සිහිපත් කරයි.
හෝක් පවසන පරිදි එදා පටන් ඔවුන් ටිකෙන් ටික ජෙනිෆර්ව ඇගේ මිතුරන්ගෙන් සහ පවුලේ සාමාජිකයන්ගෙන් ඈත් කර තිබේ.
“ජෙනිෆර්ව බැලීමට එන පුද්ගලයන්ට ඒ සඳහා ඉඩ නොදීමෙන් ඔවුන් ජෙනිෆර්ව තනි කරලා තියෙනවා. පසුගිය වසරේදී එක්සත් රාජධානියේ සිට පැමිණි ජෙනිෆර්ගේ මිතුරෙකුට ඇයව බලන්න නිවසට ඇතුල් වෙන්න ඉඩ දීලා නැහැ. ජෙනිෆර්ට උපකාර කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකුට මෙම පුරුෂයා තර්ජනය කරලාත් තිබෙනවා. ඔවුන් ජෙනිෆර්ගේ ජංගම දුරකථනය පවා අරගෙන. එම නිසා ජෙනිෆර්ට වෙනත් කිසිවෙකුට ඇමතුමක් දීමටවත් වෙනත් අයට ජෙනිෆර්ව ඇමතීමටවත් පුළුවන් වුණේ නැහැ.”
“මගේ සහෝදරිය අසනීප වූ පසුවම මට ඇය සමඟ කතා කරන්න ලැබුණේ නැහැ. ජෙනිෆර්ගේ නෑනා ඇය සමඟ කතා කිරීමට බල කර ඉල්ලූ විට එම පුද්ගලයා පුටුවෙන් ගසන බව පවසමින් නෑනාට තර්ජනය කර තිබෙනවා. එම පුද්ගලයාට කේන්තියක් ඇති වන නිසා එම ස්ථානයෙන් යන්න කියලා ජෙනිෆර් ඇගේ නෑනාට පවසා තිබෙනවා. පෙනෙන විදිහට ජෙනිෆර් මෙම පුද්ගලයාට බියෙන් සිටියේ. ඔස්ට්‍රේලියාවේ සිට පැමිණි ඇගේ ඥාති සහෝදරයන් ඇයව බැලීමට ගිය අවස්ථාවලත් ඔහු ඔවුන්ට තර්ජනය කර තිබෙනවා” හෝක් පැවසීය.
තම සහෝදරියට උපකාර කරන මෙන් ඉල්ලමින් ලොක් ඩවුන් කාලය තුළදී හෝක් බොහෝ රජයේ ඒජන්සිවලට සහ රාජ්‍ය නොවන සංවිධානවලට ලියා තිබෙන බව සඳහන්ය.
ජෙනිෆර්ව බේරාගැනීම සඳහා අවසන් උත්සාහය ලෙස 2020 මාර්තු මාසයේදී හෝක් විසින් ජනාධිපතිට, අගමැතිට, පොලිස් පරීක්ෂකට, කාන්තාවන්ගේ අවශ්‍යතා සඳහා තිබෙන සංවිධානයට (Women in Need) සහ මානව හිමිකම් කොමිසමට විවෘත ලිපියක් යොමු කළ බව ඔහු පවසයි.
ඔහුගේ ඇමතුම් සහ ලිපිවලට පිළිතුරක් නොලැබූ බව ඔහු සඳහන් කරයි. මේ අතර ජෙනිෆර්ව බැලීමට ඇගේ නිවසට ගොස් ඇයට උපකාර කිරීමට ඇගේ මිතුරන් උත්සාහ කර තිබෙන බව සඳහන්ය.
නමුත් එසේ කිරීමට යෑමේදී ඔවුන්ට විරෝධයක් එල්ල වී ඇති අතර ජෙනිෆර්ගේ නිවස අත්පත් කරගෙන සිටි මිනිසා වෙඩි තියන බව පවසමින් ජෙනිෆර්ගේ මිතුරන් කිහිපදෙනෙක්ට තර්ජනය කර තිබේ. ඉන්පසුව හෝක් මාර්තු 12 වෙනිදා ශ්‍රී ලංකා පොලීසිය සම්බන්ධ කරගැනීම එක්සත් රාජධානියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් උපකාර පතා තිබේ. ජෙනිෆර්ගේ දේපළක බලෙන් පදිංචි වීම පිළිබඳව හෝක් යොමු කළ ලිපියේ චෝදනාව ලෙස සඳහන් විය.
ජෙනිෆර්ගේ තවත් මිතුරෙකුට ඇයව දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට නොහැකි වූ නිසා ඇයද ජෙනිෆර්ව බැහැදැකීමට තීරණය කළාය. ජෙනිෆර් සමඟ පදිංචි වී සිටින ඇගේ පවුලේ මිතුරෙකු බව පැවසූ පුද්ගලයෙකුව එහිදී හමු වීම ඇගේ පුදුමයට හේතු විය.
“මම ජෙනිෆර්ව අවසන් වරට දුටුවේ පෙබරවාරියේදීය. සිදු වන දෙය තේරුම්ගත නොහැකි වූ නිසා මම ඇයව බලන්න ගියා. මට හමු වූ පුද්ගලයා පැවසුවේ ඔහු ජෙනිෆර්ගේ මිතුරාගේ පුතා බවය. ඔවුන් පැවසුවේ ඔවුන් ඇයට ගොඩක් කිට්ටු බවය. එය සත්‍යයක් නොවන බව මට තේරුණා, මන්ද මම තවත් තොරතුරු ඇසූ විට ඔහු කිව්වේ තවත් පැටලිලිසහිත කතාවක්. ජෙනිෆර්ගේ සෑම මිතුරෙක්ම සහ පවුලේ සාමාජිකයෙක්ම පාහේ මම දැන සිටියා. නමුත් මේ මිනිසාව මම කවදාවත් දැක තිබුණේ නැහැ. ජෙනිෆර්ගේ සමහර මිතුරන් මගෙත් මිතුරන්. මෙම අමුතු තත්ත්වය පිළිබඳව ඔවුනුත් පැවසුවා” ඇය සඳහන් කළාය.
ජෙනිෆර්ගේ අසනීප තත්ත්වය පිළිබඳව සහ ඇයට ලබා දුන් ප්‍රතිකාර පිළිබඳව ඇගේ පවුලේ සාමාජිකයන්ට හෝ මිතුරන්ට හෙළි කරනු නොලැබීය. මිතුරන් සහ ඥාති සහෝදරයන් ඇයව නිවසින් පිටතට ගෙන යෑමට කිහිපවතාවක්ම උත්සාහ කළද එය අසාර්ථක වී තිබේ. එසේ වී තිබෙන්නේ ඇය අන්තිම මොහොතේ ඒ සඳහා අකමැති වූ නිසාය.
“ඇයට ලබා දුන් දුරකථන ඇමතුම් නිවසේ සිටි මෙම පුද්ගලයන්ගේ අධීක්ෂණයට යටත් වූවා. ඇයව බැලීමට එන තැනැත්තන්ගෙන් ‍මෙම පුද්ගලයා ප්‍රශ්න කළා. ඇයට උපකාර කිරීමට අපට ක්‍රමයක් තිබුණේ නැහැ. ඇගේ නිවසේ සිටි පුද්ගලයන් තුළ කේන්තියක් ඇති නොකිරීමට අප ප්‍රවේසම් වුණා. නමුත් මේ මිනිසා අපට වෙඩි තබන බව හා පහර දෙන බව තර්ජනය කළ නිසා ඇයව බේරාගැනීමේ උත්සාහය ඇණහිටියා” ඇය සඳහන් කරයි.
“අගේ නිවසේ තත්ත්වය වෙනස් වී තිබුණා. ජෙනිෆර් සුනඛයන්ට ආදරෙයි. ඒත් ඇගේ සුනඛයන් පෙනෙන්නට සිටියේ නැහැ. ඒ වෙනුවට අර පුද්ගලයාගේ සුනඛයන් තමයි නිවසේ සිටිියේ. ජෙනිෆර් සහ ‍එම මිනිසාගේ ඡායාරූපවලින් නිවස පිරී තිබුණා. ඒවායින් වැඩි ප්‍රමාණයක දක්නට ලැබුණේ ජෙනිෆර් රෝහල් ඇඳක් මත සිටින අයුරුත් එම මිනිසා ඒ අසල සිටින අයුරුත්. ඇත්තටම පිළිකුල් ඡායාරූප” ඇය පැවසීය.
ඇගේ මරණින් පසුව බොරැල්ල පොලීසිය ඒ බව වාර්තා වූවා කියා සඳහන් කර තිබේ. එමෙන්ම ඥාතීන් පැමිණෙන තෙක් දේහය පොලිස් භාරයේ තබාගැනීමට පොලීසිය තීරණය කළ බව සඳහන්ය.
“පොලීසියට පැමිණියේ මේ මිනිසා පමණයි. තමා ඇයගේ කිට්ටුම ඥාතියා බව පවසමින් ඔහු විවාහ සහතිකයකුත් රැගෙන පැමිණියා. ඉන්පසුව අපි අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාවරයාගේ උපදෙස් ලබා ගැනීමෙන් පසුව දේහය ලබා දුන්නා” පොලීසිය පැවසූ බව සඳහන්ය.
ජෙනිෆර්ගේ අවසන් කටයුතුද සිදු වන වේලාව කිසිම නෑදෑයෙකුට දැනුම් දීමකින් තොරව සිදු කර ඇති බව හෝක් පවසයි.
“ජෙනිෆර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලෙස ඇගේ නීත්‍යානුකූල කිට්ටුම ඥාතියා ලෙස මම පැවසුවා. නමුත් විගස මට දැනගන්නට ලැබුණේ ඒ වන විටත් ජෙනිෆර්ගේ දේහය ආදාහනය කර ඇති බවය. ඇය ක්‍රිස්තියානියෙක්. ආගමානුකූලව තම අවසන් කටයුතු කිරීම ඇගේ කැමැත්ත වූවා විය හැකිය. පවුලේ සූසාන භූමියට අයත් බිම් කැබැල්ලද මෙම මිනිසා විකිණීමට උත්සාහ කර ඇති බව මට දැන් දැනගන්න ලැබුණා” හෝක් පැවසීය.
“හෝක්ට හැ‍ඟෙන්නේ මෙම මිනිසා ඉදිරිපත් කරන ජෙනිෆර්ගේ අවසන් කැමති පත්‍රය ඇයට බලපෑම් එල්ල කරමින් ලියවාගෙන තිබෙන බවය. මෙම අවසන් කැමති පත්‍රය සැක සහිතයි. නමුත් විරුද්ධ පක්ෂය පවසන්නේ මෙය ලියූ අවස්ථාව ඇතුළත් වීඩියෝවක් ඔවුන් සතු බවය” හෝක්ගේ නීතිඥ ඉයන් ප්‍රනාන්දු පැවසීය. ඉයන් ප්‍රනාන්දු, උපදේශක චතුර ප්‍රනාන්දු සහ චවින්ද්‍රි පෙරේරා මේ පිළිබඳව විමර්ෂණය කිරීම සඳහා පැමිණිල්ලක් සීඅයිඩී වෙත ගොනු කිරීමට නියමිත බව සඳහන්ය.

(“ඩේලි මිරර්” පුවත්පතට කලණි කුමාරසිංහ ලියූ ලිපියක් ඇසුරිනි)
එස්. දහනායක
[July 31, 2020 - Gossiplankanews.com]

පෙර වාර්තාව -  1962 මිස් ශ්‍රී ලංකා ජෙනිෆර්ගේ මරණය සැකයි - මහජන තොරතුරු විමසයි