එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන් පිනැන්ස් ලිමිටඩ්, හෙවත් ඊ.ටී. අයි. සමාගම සිඳුකර ඇතැයි පැවසෙන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිඳුකෙරෙන විමර්ශනවලට අදාළව එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, දීපා එදිරිසිංහ, අසංක එදිරිසිංහ මහත්ම මහත්මීන්ගෙන් ඊයේ (30) පැය 9 කට ආසන්න කාලයක්
ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ඊ.ටී.අයි. සිද්ධිය  සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට එම සමාගමේ අධ්‍යක්ෂවරුන් මෙසේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ ප්‍රථම අවස්ථාව මෙය විය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශන ඒකකය කළ දැනුම් දීමක් අනුව මොවුන් ඊයේ පෙරවරු 9.00ට එහි පෙනී සිටී අතර පස්වරු 6.00 වන විටත් එය අවසන් නොවීය. ප්‍රශ්න කරන අතරතුර ඊයේ පස්වරු 1.00ට පමණ ඔවුන් දිවා ආහාරය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණි අතර දිවා ආහාරය ලබාගෙන පැයකට ආසන්න කාලයකට පසුව ඔවුහු යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියහ.  මෙම ප්‍රශ්න කිරීම පස්වරු 6.00 වනවිටත් අවසන් වී නොතිබිණි.

-ඉන්දිකා රාමනායක-