[Trending][btop]
[News][stack]

සහනදායි පොලියට රජයෙන් ණය අරන්දෙන්න ඉන්ටර්නෙට් ව්‍යාජ ඇඩ් දැමූ අය මාට්ටු ත්‍රස්තයන්ටත් හවුල්දැයි සැකයක්

වි
දෙස්ගත ශ්‍රමිකයන්ට සහනදායි පොලියට රජයෙන් ණය ලබාදෙන බවට ජනාධිපති කාර්යාලයේ නිවේදනයක් ලෙස ව්‍යාජ ලෙස සකස් කළ මාධ්‍ය නිවේදනයක් අන්තර්ජාලයේ පළකරමින් කෝටි ගණන් මුදල් වංචා කළ බව කියන පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා කොළඹදී ඊයේ (27) පැවසිය. ව්‍යාජ රියැදුරු බලපත්‍ර සකස්කිරීම සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණකයක්, රියැදුරු බලපත්‍ර මුද්‍රණයට යොදාගන්නා කාඩ් මුද්‍රණ යන්ත්‍රයක්, රියැදුරු බලපත්‍ර මුද්‍රණයට යොදාගන්නා  චිප් ඇතුළත් කාඩ්පත් 925ක්,  ව්‍යාජ රබර් මුද්‍රා දෙකක්,ව්‍යාජ ලෙස සකස් කරන ලද රියැදුරු බලපත්‍ර 61ක්, ජාත්‍යන්තර රියැදුරු බලපත්‍ර 5ක්, බැංකු කාඩ්පත් 14ක්,  ජංගම දුරකථන 15ක්, සිම්පත් 40ක්, කාර් රථයක්, වෑන් රථයක්, රුපියල් ලක්ෂ 20ක  ස්ථාවර තැන්පතුවක රිසිට් පතක් සැකකරුවන් සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇති බවද  ඔහු සඳහන් කළේය.

ත්‍රස්තවාදී සංවිධානවලට සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ගලයන්ට සැකකරුවන් ව්‍යාජ රියැදුරු බලපත්‍ර සකස් කර ඇති බවට දැනට සිදුකරගෙන යන විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. රජයේ මුද්‍රාව භාවිත කරමින් ව්‍යාජ ගනුදෙනු කිරිම සහ ත්‍රස්තවාදය සඳහා අනුබල දෙමින් ත්‍රස්තවාදයට මුදල් ඉපයීමක් කළේද, ත්‍රස්තවාදයට අදාළව ව්‍යාජ ලේඛන නිෂ්පාදනය කළේ ද යන්න සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ මෙම සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන බවද ඔහු කීය.

සැකකරුවන් 2019 වසරේ සිට මෙම වංචාව සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී ඇති අතර කොපමණ මුදලක් මේ ආකාරයට වංචා කර ඇති දැයි යන්න පිළිබඳ තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පොලිස් මූලස්ථානයේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. එක්තරා බැංකුවක තැන්පත් කර තිබූ මුදල් සොරාගෙන ඇති බවට ඉකුත් මැයි 25 වැනිදා කිරුළපන පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. විදෙස්ගත ශ්‍රමිකයන්ට අඩු පොලියට ණය ලබාදෙන බවටත් එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මගින් අඩු පොලියට ණය

ලබාදෙන බවටත් ජනාධිපති කාර්යාලයේ මාධ්‍ය නිවේදනයක් ආකාරයට සකස් කළ  ව්‍යාජ නිවේදනයක් අනතර්ජාලයේ ප්‍රසිද්ධ කරමින් සැකකරුවන් සූක්ෂම ආකාරයෙන් මෙම වංචාව සිදුකර ඇති බවද ඔහු කීය. විදෙස්ගත ශ්‍රමිකයන් මෙම ණය සඳහා අයැදුම් කිරිමෙන් පසු ඔවුන්ට ලංකාවේ බැංකුවක ගිණුමක් ආරම්භ කරන ලෙසට දැනුම්දීමක් කරන අතර,
මෙම ගිණුම ආරම්භ කිරිමෙන් පසු ණය අයැදුම්පත් සම්පුර්ණ කර එවන ආකාරයට සැකකරුවන් ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු ලබාගන්නා බවද සේනාරත්න මහතා කීවේය. අනුමත වී ඇති ණය ලබාගැනීමට අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කරන බැංකු ගිණුමක් විවෘත කර එම ගිණුමට අදාළ රහස්‍ය අංකය ලබාදෙන ලෙසට ඉල්ලීමක් කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

රහස්‍ය අංකය ලබාදීමෙන් පසු ණය අනුමත කිරීම සඳහා ණය මුදලේ වටිනාකමින් සීයට 10ක් තැන්පත් කරන ලෙසට දන්වා එම මුදල අන්තරිජාලය ඔස්සේ වෙනත් බැංකු හතරක විවෘත කර තිබෙන විවිධ ගිණුම්වලට  මාරු කර මුදල් ලබාගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය. අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස්දෙනාගෙන් තිදෙනකු පිටබැද්දර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් දෙදෙනා නාරාහේන්පිට සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පෙරේදා (26) අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් වයස අවුරුදු 30ත් 40ත් අතර පසුවන්නන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-