වංචනිකයන්ට විශාල කප්පම් මුදලක් ගෙවන ලෙස බල කිරීමේ ජාවාරමක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිටින චීන ජාතික ශිෂ්‍යයන් ඉලක්ක කරගෙන සිදු වන බවට සඳහන්ය. 
බොහෝ අවස්ථාවලදී තමාව පැහැරගෙන ඇති බව මවාපාමින් චීනයේ සිටින තම නෑදෑයන්ට එය තහවුරු කිරීම සඳහා වීඩියෝ යවා මෙම මුදල් ලබාගන්නා ලෙස එම සිසුන්ට තර්ජන එල්ල වේ. 
මෘදුකාංග හරහා මෙවැනි ජාවාරම් ("virtual kidnappings") සිදු වූ අවස්ථා 8ක් මෙම වසරේදී වාර්තා වූ අතර ඉන් එක් අවස්ථාවකදී කප්පමක් ලෙස ශ්‍රී ලාංකීය මුදල් වටිනාකම අනුව රුපියල් 265,551,000 පමණ ගෙවා ඇති බව සඳහන්ය.
මෙම ජාවාරමට හසු වූ පුද්ගලයන් තමා හෝ තමාගේ ආදරණීයයන් අනතුරක සිටින බව සිතනවා කියා පොලිසිය පැවසීය.‍ 
2020 තුළදී මෙම ජාවාරමේ වැඩි වීමක් සිදු වී ඇති අතර එය විශාල පරිමාණයෙන් සිදු වන බව නිව් සවුත් වේල්ස් පොලිසිය පැවසීය.
තර්ජනය කරමින් ලැබෙන දුරකථන ඇමතුම් පිළිබඳව විගස දැනුම් දෙන ලෙස පොලිසිය එම ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා තිබේ.
මෙම ජාවාරම ක්‍රියාත්මක වන්නේ කෙසේද?
බලධාරීන් සඳහන් කළේ දුරකථන ඇමතුම් හරහා මෙම ජාවාරම ක්‍රියාත්මක වන්නේ වෙනත් රටක සිට වීම හේතුවෙන් එය සොයාගැනීම අපහසු වූ බවය. මෙහිදී සාමාන්‍යයෙන් දුරකථන ඇමතුම ලබා දෙන පුද්ගලයා පෙනී සිටින්නේ ඔහු චීන තානාපති කාර්යාලයේ සිට හෝ වෙනත් අමාත්‍යංශයකින් කතා කරන බවය.
චීනයේ සිදු වී තිබෙන අපරාධයකට ඔවුන් හසු වී තිබෙන බව හෝ ඔවුන්ට වෙනත් තර්ජනයක් තිබෙන බවට ඔහු එම ඇමතුමෙන් දැනුම් දෙයි. සාමාන්‍යයෙන් මෙම ජාවාරම්කරුවන් කතා කරන්නේ චීන මැන්ඩරින් බස වන අතර අත්අඩංගුවට ගැනීමෙන් හෝ රටින් පිටුවහල් කිරීමෙන් ගැලවීම සඳහා දිගටම යම් මුදලක් ගෙවන ලෙස ඔවුන් ශිෂ්‍යයන්ට බලපෑම් කරයි.
ඇතැම් අවස්ථාවලදී මෙම ශිෂ්‍යයන්ට තම පවුලේ සමාජිකයන් සහ මිතුරන් සමඟ සබඳතා පැවැත්වීම නවත්වන ලෙස බලපෑම් එල්ල කරන අතර හෝටල් කාමරයක් කුලියට ගෙන තමාව ප්‍රාණ ඇපයක් ලෙස ගෙන ඇති බව වෙනත් රටවල සිටින තම නෑදෑයන්ට හඟවා ඔවුන්ගෙන් මුදල් ලබාගන්නා ලෙස පවසයි.
එක් අවස්ථාවකදී ශි‍ෂ්‍යයෙකුගේ පියෙකු ශ්‍රී ලාංකීය මුදල් වටිනාකම අනුව රුපියල් 265,551,000 පමණ මුදලක් තම දියණිය වෙනුවෙන් ගෙවා ඇති බවත් ඉන්පසුව තම දියණියව නොදන්නා ස්ථානයක බැඳ තබා ඇති අයුරු වීඩියෝවක් ඔහුට ලැබුණ බවත් සඳහන්ය.
පසුව එම පියා සිඩ්නි පොලීසියට මේ පිළිබඳව පැමිණිලි කර තිබේ. පැයක පමණ විමර්ශනයකින් අනතුරුව ඇය එම නගරයේ හෝටල් කාමරයක ආරක්ෂාකාරීව සිටින අයුරු පොලීසිය විසින් සොයාගන්නා ලදි.
මේ වසර තුළ වාර්තා වූ අනෙක් සිදු වීම්වලදී ගෙවා ඇති මුදල් ප්‍රමාණ ශ්‍රී ලාංකීය වටිනාකම සමඟ සැසඳූ විට රුපියල් 3,714,000 පමණ සිට 3,714,000 පමණ දක්වා වේ.
“ඇතැම් අවස්ථාවලදී යම් පවුල් විසින් තමා සතු සියල්ල ගෙවා තිබෙනවා” රහස් පොලිසියේ ප්‍රධාන අධ්‍යක්ෂකවරයෙක් වන ඩැරන් බෙනට් පැවසීය.
බොහෝ අවස්ථාවලදී පොලිසියට පැමිණිල්ලක් ලැබුණු පසුව එම ජාවාරමට හසු වූ පුද්ගලයන්ව ඊළඟ දවස වන විට ආරක්ෂිතව සොයාගැනීමට හැකි වී තිබේ. මෙම අපරාධය පිළිබඳව වාර්තා කිරීමට ඊට හසු වූ පුද්ගලයන් ලැජ්ජා වී තිබේ.
“මීට ගොදුරු වන පුද්ගලයන් තුළ තම ආදරණීයයන් තර්ජනයකට මුහුණ දෙන බව විශ්වාසයක් ඇති කිරීමට සලස්වා ඔවුන් තුළ කම්පනයක් ඇති කර තිබෙනවා” නිව් සවුත් වේල් පොලිසිය පැවසීය.
මෙම ජාවාරම මහා පරිමාණයෙන් සිදු වන බවත් දුරකථන අංක ලැයිස්තුවට ඇතුළත් කර තිබෙන චීන වාසගමක් ඇති ඕනෑම පුද්ගලයෙකුට ස්වයංක්‍රීයව දුරකථන ඇමතුම් යෑම සඳහා සකස් කර ඇති බවත් පෙනෙන්නට තිබෙන බව පොලීසිය පවසයි.
“ඔවුන්ගේ ජාලය පුළුල්ව ක්‍රියාත්මක වන අතර පුද්ගලයන් කිහිපදෙනෙක් මෙම උගුලට හසු වෙනවා. එවිට ජාවාරම්කරුවන්ට විශාල වාසි ලබාගත හැකි වෙනවා” බෙනට් මහතා පැවසීය. 
පසුගිය මාස කිහිපය තුළ මෙම ජාවාරමේ වේගවත් නැඟීමක් සිදු වී ඇති බවත් සෑම සති අන්තයකම පාහේ ඊට එක් පුද්ගලයෙකුවත් හසු බන බවත් ඔහු සඳහන් කළේය.
වසංගතය පැතිර ගිය සමය තුළ ඔවුන් වැඩිදුරටත් මෙම අවධානමට මුහුණ දී ඇති බව ඕස්ට්‍රේලියාවේ සිටින අන්තර්ජාතික ශිෂ්‍යයන්ගේ නීතිඥවරයෙකු පැවසීය.
අන්තර්ජාතික ශිෂ්‍යයන් හුදෙකලා වීමත් ඔවුන් මෙහි ගොදුරු බවට පත් වීමට හේතු වී ඇති බව පොලිසිය සඳහන් කරයි. ජාවාරම්කරුවන් මෙම පුද්ගලයන්ගේ “මානසික පාලනයක්” අතට ගනියි. එමනිසා තමන්ව පැහැරගෙන ඇති බවට බොරුවට මවා පෑමට පවා එම පුද්ගලයන් පෙළඹෙන බව බෙනට් සඳහන් කරයි.
“මෙවැනි ජාවාරම්වල ගොදුරු බවට පත් වීමෙන් ආරක්ෂා වීම සඳහා ශිෂ්‍යයන්ට කළ හැකි දේවල් දෙකක් තිබේ. පළමු එක නම් මෙවැනි ජාවාරම් තිබෙන බව දැනුවත් වීමය. දෙවැන්න නම් ඔවුන්ට හෝ ඔවුන් දන්නා පුද්ගලයෙකුට එවැන්නක් සිදු වන බව හැ‍ඟෙනවා නම් කලින්ම උපකාර ඉල්ලා සිටීමය” නිව් සවුත් වේල්ස් පොලීසිය පවසයි.
නවසීලන්තයේ සහ එක්සත් ජනපදයේද මෙවැනි ජාවාරම් සිදු වන බව වාර්තා වේ.
(බීබීසී ලෝක පුවත් ඇසුරිනි)
එස්. දහනායක