IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම පළා ගිය පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය අසලදී පළමුව දැක ඇත්තේ එහි සේවය කරනු ලබන සේවකයින් දෙදනෙකු බව
එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ. අද දින උදෑසන පොලිසිය නිකුත් කළ නිවේදනය ඔස්සේ යමින් සැක සහිත පුද්ගලයාගෙන් ඒ ගැන කරන ලද විමසීමේදී ඔහු ඒ තමා බව පිළිගෙන ඇත.
රෝහල අසල ආපනශාලාවකට යමින් සිටියදී එම සේවකයින් දෙදෙනාට මෙම කොරෝනා ආසාදිත රෝගියා හමුවී ඇත.
රෝහලෙන් පැන ගිය කොරෝනා රෝගියා තමන් බව එහිදී එම පුද්ගලයා රෝහල් සේවකයින් දෙදෙනාට “මාව තමයි හොයන්නේ” යයි ප්‍රකාශ කර තිබෙන අතර එහිදී වහා ක්‍රියාත්මක වූ එම සේවකයින් ඔහුව අසල පිහිටි පදික වේදිකාවේ හිඳුවා රෝහල් බලධාරින්ට සිදුවීම සම්බන්ධයෙන් දැනුවත් කොට තිබෙයි.

රෝහල් බලධාරින් ඒ සම්බන්ධයෙන් වහාම ආරක්ෂක අංශ වෙත දැනුවත් කොට ඇති අතර ඒ අනුව එම රෝගියා රඳවා තිබු  ප්‍රදේශයට සාමාන්‍ය ජනතාවට ඇතුල් වීමට නොහැකිවන පරිදි ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන ඇත.පසුව ආරක්‍ෂිත ඇඳුම ඇද ගත් ජාතික රෝහලේ හෙදියන් දෙදෙනෙකු පැමිණ එම රෝගියාට ඇද ගැනීම සඳහා ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් ලබාදී තිබෙයි.
මෙම රෝගියා කොළඹ, පිට කොටුවේ කෙලින් වීදියේ සිට ජාතික රෝහලට පැමිණ ඇත්තේ ත්‍රිරෝද රථයකින් වන අතර එහි රියදුරු මේ වන විට නිරෝධායනය සඳහා යොමු කිරිමට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ මේ වන විට පියවර තිබෙනවා.
රෝගියා සොයා ගැනීමට උපකාර කළ කොළඹ ජාතික රෝහලේ සේවකයින් සඳහා පොලිස්පති අරමුදලින් විශේෂ ත්‍යාග මුදල් ලබා දීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න ප්‍රකාශ කර සිටියේය.
 IDH රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සේවකයින් පැමිණ පැන ගිය රෝගියා යළි රෝහල කරා රැගෙන ගොස් ඇති බව මේ වනවිට වාර්තාවේ.