සුගිය ජුනි 6 වනදා රාත්‍රියේ පිළියන්දල කැස්බෑව ගුරුගම්මාන පාරේ පිහිටි මංගල උත්සව පවත්වන දසුන හෝටලයේ සිදුවූ මිනීමැරුම් සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවන් පොලිසිය මගින් මේ වනවිට අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.ප්‍රසන්න සාගර කුමාර (51) නමැති කෝටිපති ව්‍යාපාරික හෝටල් හිමිකරු මෙදින ඝාතනයට ලක්විය. දෙදරු පියෙකුවූ ඔහු සිය නිදන කාමරයේ තම බිරිය හා දරු දෙන්නා සමග
රාත්‍රී නිදාගෙන සිටියදී හෝටලයට සොරකමේ ආ පුද්ගලයින් දෙන්නෙකු මෙම ඝාතනය සිදු කර තිබුණි. ව්‍යාපාරිකයාට පොල්ලකින් පහරදී ඝාතනය සිදුකර තිබූ අතර බිරියටද පහරදී තුවාල කර තිබුණි.
මෙම සිද්ධිය සිදුවූ පසු බිරියගේ හැසිරීම සහ බිරිය හා ව්‍යාපාරික සැමියා අතර අමනාපකම් පැවති බවට පොලිස් පැමිණිලි තිබීම මත පරීක්ෂණ පවත්වන නිලධාරීන් මෙම ඝාතනයට බිරියගේ සම්බන්ධයක් පවතීද යන්න සැකයෙන් යුතුව විමර්ශන සිදු කළ අතර පසුව හෙළිව ඇත්තේ එවැනි සම්බන්ධයක් නැති බවයි.

කෙසේ වෙතත් ඝාතනය සිදු කර තිබූ ආකාරය ගැන සෝදිසි කිරීමේදී එම හෝටලය හා හෝටලයට යාබදව පිහිටි ව්‍යාපාරිකයාගේ තෙමහල් නිවස පිළිබඳ හොඳ අවබෝධයකින් යුතු අයෙකු නිවස තුළ සීසීටීවී මගහරිමින් සූක්ෂ්ම ලෙස පැමිණ මෙම නිවසට ඇතුළුවී තිබුණ බව හඳුනාගත හැකි විය. නිවසේ පිහිටීම හා කැමරා ස්ථානගතකිරීම ගැන නොදන්නා අයෙකුට එවැනි ආකාරයට පැමිණීම අපහසු බව නිරීක්ෂණය වී තිබුණි.
හෝටලයෙන් ලබාගත් සීසීටීවී දර්ශන වලින් මෙම සොරකමේ ආ අය ගැන කිසිදු තොරතුරක් හමුවූයේ නැති අතර පාරේ සීසීටීවී පවතින තැන් වලින් මුහුණු සඟවාගෙන දෙන්නෙකු ගමන් කළ ආකාරය හා වෙලක් අසලදී එක් අයෙකු යමක් විසිකරන අයුරු පමනක් නිරීක්ෂණය විය.
එම වෙල පීරා කළ මෙහෙයුමේදී ඝාතනයට යොදාගත් බවට සැකකරන පොල්ල හමුවී තිබුණි.
හොඳින් දන්නා කියන කෙනෙකු කළ වැඩක් යන හෝඩුවාව මත නිවස ගැන හොඳ හැටි දන්නා මෙම හෝටලයේ සිටින හා සිටි සේවකයින් පිළිබඳ පොලිසිය වැඩිදුර සොයා බැලූ අතර ඒ අයගෙන් වෙන වෙනම සාක්ෂි ලබාගන්නා ලදි.

අනතුරුව එම හෝටලයේ සේවය කර ඉවත්වූ සේවකයින් පිළිබඳවද විමර්ශනය සිදුවිය.
එහිදී පොලිසියේ සැකයට භාජනය වී ඇත්තේ මසක පමණ කාලයක් හෝටලයේ සේවය කර ඉවත්වූ හමුදාවට සම්බන්ධව සිටි පුද්ගලයෙකු ගැනයි. සැකකාර හමුදා සෙබළා 2019 වසරේ දී මසක පමණ කාලයක්  මෙම හෝටලයේ කාමර සේවකයකු වශයෙන් සේවය කර ඇති අතර ව්‍යාපාරිකයාගේ වත්කම් දැතගෙන පසුව මෙම අපරාධය සැලසුම්කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඔහුගේ හවුලට එක්වී ඇත්තේ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකි.

 විවිධ සොරකම් සම්බන්ධයෙන් චුදිතයන් වී මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටියදී මොවුන් දෙදෙනා මිතුරන් වී ඇති බවත් කොරෝනා සමයේ ඔවුන්ට ඇප ලබා දීම නිසා ඇප ලැබුණු පසු පැමිණ ඔවුන් මෙම සොරකම සැලසුම් කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.
පොලිසිය සිදු කළ මෙහෙයුමක් මගින් මෙම දෙන්නාවම දැන් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ‍.
ඔවුන් සිදුකළ පාපොච්චාරණය අනුව ඉකුත් ජුනි 6 වැනි දින මධ්‍යම රාත්‍රියේ දී මෙම ඝාතනය සිදුකරන්නට කල් ඇතිව සූදානම්වී ඇත. ඔවුන්ගේ ඉලක්කය වී ඇත්තේ ව්‍යාපාරිකයා නිතර පළඳින අදික වටිනාකම් ඇති රන් මාලය හා ඔහුගේ නිවසේ පවතීවි යයි විශ්වාස කළ රත්‍රං බඩු සොරාගැනීමය.

හමුදා සෙබළා මහරගම ප්‍රදේශයේ නවාතැන්පොළක රැදී සිටිමින් පිලියන්දල සොරකමට පැමිණ ඇත. සැකකරුවන් දෙදෙනා ඉස්කුරුප්පු නියනක් ඇතුළු උපකරණ කිහිපයක් එදින මෙම අපරාධය සිදුකිරීම සඳහාම මිළ දී ගෙන ඇති අතර අනතුරුව එදින සවස හෝටලයට මීටර් 25 ක පමණ දුරින් පිහිටි මැකරල් වගාවක් පිහිටි ඉඩමක රැක සිට බීර ටින් පානය කරමින් 6 වැනිදා මධ්‍යම රාත්‍රියේ නිවැසියන් නිදාගන්නා තෙක් ඔත්තු බලා ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. 

නිවැසියන් නිදාගත් පසුව සැකකරුවන් දෙදෙනා එම ස්ථානයට ගොස් ඉස්කුරුප්පු නියනක් මගින් එක් දොරක් විවෘත කරගෙන නිවසට ඇතුළු වී ඇති බවද පොලිසිය කියයි. සී සී ටී වී කැමරා නොමැති ස්ථානයකින් නිවසට ඇතුළු වීමට හෝටලයේ කලින් වැඩකර තිබූ දැනුම උපයෝගී කරගත් බව කියා ඇති සැකකරුවන් නිවසේ නිදන කාමරයට ඇතුළු වී ව්‍යාපාරිකයාට මුලින්ම පොලු පහරක් එල්ල කර ඇති අතර එම හඩට බිරිඳ අවදි වූ අවස්ථාවේ සැකකරුවන් බිරිඳට ද පොලු පහරක් එල්ල කර ඇත. එයින් බිරිඳ තුවාල ලබා ඇත.

පොලු පහරින් තුවාල වූ බිරිඳ තමන්ට කරදර නොකරන ලෙසටත් ඔවුන්ට අවශ්‍ය දේ රැගෙන යන ලෙසටත් කළ ඉල්ලීමට අනුව සැකකරුවන් තුවාල ලබා සිටි බිරිඳ හා ඇය අසල නිදා සිටි එක් දරුවකු නිවසේ තාන කාමරයට ගෙන ගොස් එහි දමා දොරගුලු දමා තිබේ.  පසුව සැකකරුවන් නිදන කාමරයට යළිත් පැමිණ ව්‍යාපාරිකයාට පහර කිහිපයක් ගසා ඇති බවත් එම අවස්ථාවේ ඔහුගේ පස් හැවිරිදි පුතාද ඔහු සමග සිටියත් බියට පත්ව නිදාගෙන මෙන් සිට ඇති බවත් පොලිස් ආරංචි මාර්ග කියයි.
සැකකරුවන්ගේ යකඩ පොලු පහරවලින් පහරදීමෙන් පසු වයාපාරිකයා නිහඩ වී සිට ඇති අතර පසුව සැකකරුවන් ව්‍යාපාරිකයා ගෙල බැඳ සිටි පවුම් 15 රන් මාලය, පවුම් 6 අත්පළඳනාව ගලවාගෙන ඇත. පසුව බිරිඳගෙන් ලබාගත් යතුරුවලින් අල්මාරියක් විවෘත කරගෙන එහි තිබූ රන් බඩු හා මුදල් සියල්ලද රැගෙන  පළාගොස් ඇත.

ව්‍යාපාරිකයා ඝාතනයෙන් පසුව සැකකරුවන් දෙදෙනා එදින රාත්‍රියේ කොට්ටාව ප්‍රදේශයේ හෝටලයක රැඳී සිට ඇති අතර පසු දිත අවිස්සාවේල්ල ප්‍රදේශයට ගොස් ප්‍රධාන සැකකරු වූ හිටපු හමුදා සෙබළාගේ මිතුරකු වන මාළු ව්‍යාපාරිකයකු හමුවී ඇති බවත් සැකකරුවන් ව්‍යාපාරිකයාගෙත් කොල්ල කෑ පවුම් 15 ක රන්මාලය මාළු ව්‍යාපාරිකයා හරහා ප්‍රදේශයේ තවත් ව්‍යාපාරිකයකුට ලක්ෂ 12 කට අලෙවි කර ඇති බවත් කියා තිබේ. එම මුදල්වලින්  සුඛෝපබෝගී හෝටල්වල නැවතී මත්පැන් සාද පවත්වා ඇති බවද  වාර්තා විය.
එම මුදලින් රුපියල් ලක්ෂ 3 මුදලක් ප්‍රධාන සැකකරු විසින් අනෙකාට දී ඇති අතර, එම මුදල් ලබාගෙන ඔහු ආරච්චිකට්ටුවට
ගොස් ඇති අතර ප්‍රධාන සැකකරු ගිරිතලේ යාය 03 ප්‍රදේශයේ ගමට ගොස් ඇති බව කියැවේ.

පොලිසිය සිදුකළ විමර්ශන අනුව ආරච්චිකට්ටුව නගරයට පැමිණ සිටියදී එක් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත්වූ අතර ප්‍රධාන සැකකරු කඩුවෙල බස් නැවතුමේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම  සාතනයේ සුලමුල හෙළි කරගෙන ඇති අතර, ව්‍යාපාරිකයා පැළඳ  සිටි පචුම 15 රන් මාලය, පවුම් 6 අත්පළඳනාව, මැණික් ගල් 15 ක්,  ජංගම දුරකතනයක්, පවුම් 12 ක්, පවුම් 5 ක් හා පවුම 2 2/1 බර රන් මාල සොයාගෙන ඇත.  එම පවුම් 15 රන් මාලය විකුණා ලබාගත් මුදලින් රුපියල් 1,65,000 ක් ද ව්‍යාපාරිකයා භාවිත කළ ජංගම දුරකතනය ද පොලිසිය සොයාගෙන තිබේ.
ඝාතනය සඳහා භාවිත කළ යකඩ පොල්ලක්, ටී ෂර්ට් එකක් කපා සකස් කළ මුහුණු ආවරණයක්, අත්වැසුම් දෙකක්, වවාජ හැඳුනුම්පත් දෙකක්ද පොලිසිය සොයාගෙන ඇත.
 මේ අතර රන් බඩු උකස් කර ලබාගත් මුදලින් රුපියල් 1,75,000 ක මුදලක් ප්‍රධාන සැකකරුගේ සහෝදරයකුගේ ගිණුමට බැරකර ඇති බවත් තවත් රුපියල් 28500 ක මුදලක් ඔහුගේ ඥාතියකුගේ ගිණුමට බැර කර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

රන් මාලය උකස් කිරීමෙන් ලබාගත් මුදලිත් ඉතිරි මුදල්  ප්‍රධාන සැකකරුගේ මිතුරකු ළඟ තිබී සොයාගෙන ඇති අතර, එම මුදලින් ප්‍රධාන සැකකරු ත්‍රිරෝද රථයක් මිලදී ගැනීමට සුදානමින්  සිට ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.