පානදුර මුලික රෝහලට පෙරේදා (22) ඇතුළත් කර විනාඩි 32 ක් ඇතුළත මියගිය 13 හැවිරිදි දැරියකගේ රුධිර සාම්පල් පී.සී.ආර්. පරීක්ෂාව සඳහා යොමු කර ඇති බව පානදුර මූලික රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය පැවසුවාය.




එම දැරිය පෙරේදා පස්වරු 3.35ට පමණ රෝහගත කර ඇති අතර හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී සවස 4.30ට පමණ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. මියගොස් ඇති දැරිය ක්ලාන්ත ගතිය, වමනය සහ හිසේ කැක්කුම වැනි රෝග ලක්ෂණවලින් පෙළී ඇති ඇය රෝහල් ගත කිරිමේදී ළගම ඥාතීන් විසින් දැනුම් දී ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මේ දිනවල සිදුවන හදිසි මරණවලදී නිශ්චිත රෝග විනිශ්චයක් ලබාදිය නොහැකි අවස්ථාවලදී රුධිර සාම්පල් පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කෙරෙන බවත් පරික්ෂණ වාර්තා ලැබෙන තෙක් පශ්චාත් මරණ පරික්ෂණය
සිදු නොකරන බවත් විශේෂඥ වෛද්‍ය ගොඩකන්ද මහත්මිය පැවසුවාය.

පානදුර රෝහල් පොලිසියේ උපපොලිස් පරීක්ෂක ආර්. ගුණසේන සහ සැරයන් ධර්මරත්න (55323) මහත්වරු මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

(පානදුර සුමිත් ප්‍රේමතිලක)