සුගිය සතියේ අනේදෝලනයක් ඇති කරමින් අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පළා ගොස් සිටියදී ආරක්ෂක අංශ භාරයට ගැනුණු කොරෝනා ආසාදිතයා නැවත අංගොඩට නොගෙනවිත් කන්දකාඩු කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත මේ වනවිට යොමු කර ඇති බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.
මෙම ආසාදිතයා තමා ජාතික රෝහලට පැමිණි ආකාරය පිළිබඳව ව්‍යාජ තොරතුරු පොලීසියට පවසා තිබූ අතර ඔහු කොළඹ තවත් මාර්ග කිහිපයකම
සහ ස්ථාන කිහිපයකම සැරිසරා ඇතැයි ආරක්ෂක අංශ මේ වනවිට හඳුනාගෙන තිබේ.

අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් පලා ගිය කොවිඩ් ආසාදිතයා ජාතික රෝහලට පැමිණිමට පෙර එදින අලුයම ගමන්ගත් ස්ථාන හඳුනාගැනීම සඳහා පොලිස් විමර්ශන මේ වනවිට ක්‍රියාත්මකව පවති.

රෝහලේ උඩුමහලේ වාට්ටුවක සිටි අදාළ ආසාදිතයා එහි ජනේලයකින් පැන , පිටුපස තාප්පයකින් මාර්ගයට පිවිස ඇතැයි දැනට හඳුනාගෙන තිබේ.
අදාළ තාප්පයේ ආරක්ෂිත කම්බි සවි කර තිබෙන නමුත් එක් ස්ථානයක කම්බිය ගැලවී ඇත.
අනතුරුව ආසාදිතයා පැමිණ තිබෙන්නේ රෝහලට යාබද මල්පුර මාර්ගයටය.
මල්පුර සිට හල්ගහදෙණිය මණ්ඩවිල පාරට පැමිණෙන ඔහු එහි නිවසක එළිමහනේ තිබූ ඇඳුම් සොරගෙන තිබුණි. අග්ගොන ප්‍රදේශයට ඔහු පැමිණෙන්නේ ඇඳුම් මාරුකරගැනීමෙන් අනතුරුවය.

අග්ගොන කලපලුවාව මාර්ගයේ එන ඔහු යාබද ස්ථානයක මද වේලාවක් ගත කර එම ස්ථානයෙන් පිටව යයි.
අනතුරුව අග්ගොන මංසන්ධියට යාබද බෝඩිමක තිබූ පාපැදියක් ඔහු සොරකම් කර තිබෙන අතර එතැන් සිට ඔහු ගමන්ගෙන ඇත්තේ එම පාපැදියෙනි.
ඉන්පසු කලපලුවාව ඔස්සේ බත්තරමුල්ලටත් අනතුරුව රාජගිරිය කොටා පාර ඔස්සේ බොරැල්ල දෙසටත් ඔහු පැමිණ ඇති බවට සැක කරයි.
ඔහු අදාළ පාපැදියෙන්ම පිටකොටුව දක්වා පැමිණියේද නැතහොත් අතරමගදී වෙනත් ප්‍රවාහන මාධ්‍යයක් භාවිත කර තිබේද යන්න පිළිබඳ විමර්ශන ක්‍රියාත්මකය.
ඔහු ජාතික රෝහල අසලට රැගෙන ආ ත්‍රිරෝද රථ රියදුරුගේ ප්‍රකාශය අනුව දැනට අනාවරණ වී තිබෙන්නේ ඔහු පිටකොටුවේ සිට පැමිණි බවය.
මොහු ත්‍රිකුණාමලයේ පදිංචිව සිටි අයෙකු වුවද කොළඹ නගරයේ ස්ථාන පිළිබඳව දැඩි අවබෝධයක් පැවති අයෙකු බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

මෙවැනි පසුබිමක් තුළ අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ආරක්ෂාව තර කර ඇත.