රුවන්වැල්ල පොලිස් වසමේ රත්නාගල, ඉඹුලාන ගම්මානයේ රහසිගතව පවත්වාගෙන ගිය ගිනි අවි නිෂ්පාදනය කරන කම්හලක් පෙරේදා (25) වටලා නීති විරෝධී ගිනි අවි අටක්, ගිනි අවි කොටස් තොගයක්, උණ්ඩ, පුපුරන ද්‍රව්‍ය, බෝම්බ පිපිරවීමට යොදාගන්නා ඩෙටනේටර් හා ඩෙත් කෝඩ් තොගයක් ද සමග ගිනි අවි නිෂ්පාදනය කිරීමේ නිරතව සිටි බව කියන පුද්ගලයකු ද අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.


මෙම කම්හලේ නිෂ්පාදනය කරන ගිනි අවි පාතාල කල්ලි සහ වෙනත් අපරාධ කල්ලිවලට විකිණීම සැකකාර පුද්ගලයා කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇති බව පරික්‍ෂණවලින් පෙනී යන්නේ යැයි පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකරු 50 වන වියේ පමණ පසුවන්නකු වන අතර රත්නාගල, ඉඹුලාන ගම්මානයේ පදිංචිකරුවෙකි.
මෙරට නිෂ්පාදිත ගල්කටස් ගිනි අවි දෙකක්, 2.2 වර්ගයේ උණ්ඩ දැමිය හැකි රිවෝල්වරයක්, ටී.56 උණ්ඩ දැමිය හැකි ආකාරයට නිෂ්පාදනය කර තිබෙන ගල්කටස් (ටී කටස්) ගිනි අවියක්, විදේශීය නිෂ්පාදිත බෝර 12 ගිනි අවි තුනක්, ගිනි අවි බැරල් ඇතුළු ගිනි අවි කොටස් තොගයක්, ටී. 56 උණ්ඩ 10ක්, එම්.එම් 9 වර්ගයේ උණ්ඩයක් ඇතුළු ජීව උණ්ඩ හා හිස් උණ්ඩ 75 ක පමණ තොගයක්, බෝම්බ පිපිරවීමට යොදාගන්නා
ඩෙටනේටර් 8ක්, වෙඩි බෙහෙත් කිලෝවක් සහ ප්ලාස්ටික් වර්ගයේ අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 650ක් මෙම කම්හලේ තිබී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් සොයාගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන හා බුද්ධි කොට්ඨාසයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත රුවන්වැල්ල ප්‍රදේශයට ගොස් මෙම ගිනි අවි නිෂ්පාදන කම්හල වටලා තිබේ. පාතාල කල්ලි හා වෙනත් අපරාධ කල්ලිවලට ගිනි අවි සාදා විකිණීමට අමතරව එම කල්ලි විසින් මෙම කම්හලෙන් ඔවුන් සතු ගිනි අවි අලුත්වැඩියා කරගෙන ගොස් තිබෙන බව පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

විදේශීය නිෂ්පාදිත බෝර 12 ගිනි අවි දෙක එසේ අලුත්වැඩියා කිරීම සඳහා බාර දී තිබූ ඒවා බවට පෙනී යන්නේ යැයි විශේෂ කාර්ය බළකාය කියයි.

ගිනි අවි නිෂ්පාදන හා අලුත්වැඩියා කරන කම්හල පවත්වාගෙන ගිය බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී මෑතක දී ඔහුගෙන් ගිනි අවි සාදාගෙන හා අලුත්වැඩියා කරගෙන ගිය පුද්ගලයන් ගණනාවකගේ නම් අනාවරණය වි යැයි ද විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

මෙසේ හෙළිකරගත් නම් අතර පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගැනීමට සොයන නම ගිය පාතාල කල්ලි සාමාජිකයන් කිහිප දෙනෙකු ද සිටින බව දැනගැනීමට ඇත. අත්අඩංගුවට ගත් සැකකරු නිධන් සොරුන් බවටත් පැවසෙන පුද්ගලයන්ට පුපුරන ද්‍රව්‍ය විකිණීම ද කරගෙන ගොස් ඇති බවට පොලිස් විශේෂ කාර්ය බළකායට තොරතුරු ලැබී ඇති නිසා ඒ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීමට ද පුළුල් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ විශේෂ උපදෙස් මත එම බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන හා බුද්ධි කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශාන්ත රත්තනපිටිය සහ සහකාර පොලිස් අධිකාරි ප්‍රසාද් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ සංවිධානාත්මක අපරාධ මර්දන (2) ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රංජන දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් උපපොලිස් පරීක්‍ෂක ජයශාන්ත මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.

සැකකරු හා කම්හලේ තිබී සොයාගත් සියලුම භාණ්ඩ වැඩිඳුර පරික්ෂණ සඳහා රුවන්වැල්ල පොලීසියට භාරදුන් බව විශේෂ කාර්ය බළකාය කියයි.

(බණ්ඩාරගම -බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ දෙහිවල- එච්.එම්.ධර්මපාල)