උසස් පෙළ පත්තියක ඉගෙනුම ලබන පාසල් සිසුවියක් සිය පෙම්වතා සමග කතාබස් කරමින් සිටියදී පෙම් යුවළ අසලට පැමිණ ඇති පුද්ගලයකු තමන් රහස් පොලිසියේ නිලධාරියකු යැයි පවසා පෙම් යුවළ බිය ගන්වා
පෙම්වතා පලවා හැර පෙම්වතිය යතුරුපැදියක නංවාගෙන ගොස් ඇයට අතවරයක් සිදු කර ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි. සාමාන්‍ය ඇඳුමකින් සැරැසී සිට ඇති මෙම පාසල් සිසුවිය පොලිසියට රැගෙන යන මුවාවෙන් සැකකරු ඇය අතහැර දමන ලද ගල් කොරියකට රැගෙන ගොස් සිසුවිය එහිදී අතවරයකට ලක් කර ඇතැයි පොලිසිය පවසයි. සිසුවියට අතවර කිරීමෙන් අනතුරුව රහස් පොලිසියේ වෙස් ගත් මෙම සැකකරු සිසුවිය සිය යතුරුපැදියේම නංවාගෙන ගොස් අතරමඟ ඇය බස්සවා පලා ගොස් ඇතැයි පොලිස් නිලධාරීහු පවසති.


මේ පිළිබඳව ලත් පොලිස් පැමිණිල්ලට අනුව සිසුවිය අතවරයට ලක් කළ බව පැවැසෙන ස්ථානයට පොලිසියේ පිරිසක් ගොස් සිදු කළ මූලික විමර්ශනයේදී ජංගම දුරකතන සීම් පතක් මිලදී ගැනීමේ දී එම සිම්පත රඳවා තිබෙන කාඩ්පතක් එම ස්ථානයේ තිබී පොලිසියට හමු වී ඇත. එම කාඩ්පතේ සඳහන් ජංගම දුරකතන අංකයට පොලිසිය සිසුවිය ලවා සැකකරුට කතා කර උපක්‍රමශීලීව සැකකරු ගෙන්වාගෙන ඇති අතර එම අවස්ථාවේ ඒ අවට රැකවල්ලා සිට ඇති පොලිස් පිරිසක් සැකකරු යතුරුපැදිය ද සමග අත්අඩංගුවට ගෙන තිබේ.සැකකරු 48 හැවිරිදි එක් දියණියකගේ පියකු බව ද පොලිසිය කියයි.

-ඩබලිව්.කේ.ජයවර්ධන-