ගම්පහ දිස්ත්‍රික්කයේ ගවයින් සොරකම් කිරීමේ ප්‍රධාන ජාවාරමා බවට සැලකෙන බේරුවල ප‍්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයකු, ඔහු සතුව තිබූ බව කියන ජීව අත් බෝම්බයක් ද සමගින් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ගම්පහ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාට බේරුවල ප්‍රදේශයේ පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරක් මත එම පොලිස් අධිකාරීවරයා සමඟ කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් පිරිසක් බේරුවල ප්‍රදේශයේ සිදුකළ සෝදිසියකින් පසුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

ගම්පහ පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් බලප්‍රදේශය තුළ පසුගිය කාලයෙහි සිදුව ඇති හරක් සොරකම් ගණනාවක් සඳහා එකම වර්ගයක ලොරියක් යොදාගෙන ඇති බව ආරක්ෂක කැමරා රූප රාමු මගින් පෙනී ගොස් තිබීම මත ඉන්දික ද සිල්වා මහතාට ලැබී ඇති තොරතුරට අනුව අදාළ ලොරිය සමග එහි හිමිකරු වන 32 හැවිරිදි තැනැත්තා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් ලොරිය තුළ තිබී ජීව අත් බෝම්බයක් ද සොයාගත් බවත් පොලිසිය පවසයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පසුගිය දිනෙක මල්වතුහිරිපිටිය පොලිස් බලප්‍රදේශය තුළ සිදුව ඇති ගව සොරකමක් සම්බන්ධයෙන් කළ විමර්ෂන අනුව සැකකරු සමඟ ලොරිය අත්අඩංගුවට ගත් අවස්ථාවේ එහි අංකය ව්‍යාජ අංකයක් ලෙස සඳහන්ව තිබී ඇති බවත් මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ත මුණසිංහ මහතා පැවැසූ අතර ලොරියෙහි අංක තහඩුව ආරක්ෂිත කැමරාවල පැහැදිලිව සටහන්වීමට නොහැකි වන සේ විදුලි බුබුළු කිහිපයක් සහිත ලාම්පුවක එළිය අංක තහඩුවට එල්ලවන ලෙසින් සවි කොට තිබූ බව ද සඳහන් කළේය.

දැනට අත්අඩංගුවේ පසුවන ප්‍රධාන සැකකරුට අමතරව මෙම ගව ජාවාරමට සම්බන්ධ තවත් සිව්දෙනකු අත්අඩංගුවට ගැනීම පිණිස පරීක්ෂණ අරඹා ඇත. ගව සොරකම් මුලිනුපුටා දැමීම පිණිස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ලබාදී ඇති උපදෙස් පරිදි දැනට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා සොයා ගනිමින් විමර්ශන කටයුතු සිදු කිරීම පිණිස බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා මහතාගේ මඟපෙන්වීම අනුව සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර මහතා ප්‍රධාන ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් ජයසිංහ, මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමත්ත මුණසිංහ යන මහත්වරුන් ඇතුළු ස්ථානාධිපතිවරුන් කිහිපදෙනකු ද ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක සමරසිංහ මහතා සමඟ සැරයන් ජයවර්ධන සහ කොස්තාපල් ඉන්දික යන නිලධාරීහු ක්‍රියාත්මක වූහ.

- තිලකරත්න දිසානායක -