සංවිධානාත්මක අපරාධක සාමාජිකයකු වන කොස්ගොඩ තාරකගේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් බව කියන කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර සැරයන්වරයකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ඊයේ (27) පැවැසීය.පෑලියගොඩ
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සැරයන්වරයකු වන සුලෝචන දයානන්ද නමැති 36 හැවිරිදි අයෙකි . බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කොස්ගොඩ තාරක නමැත්තාට අයත් හෙරොයින් මන්ද්‍රව්‍ය විකුණා එම මුදල් මෙම සැරයන්වරයා ප්‍රවාහනය කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.


හෙරොයින් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන සැකකරුවකු වන මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි රොහාන් ප්‍රදීප් නමැති සැකකරු මගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී මෙම තොරතුරු අනාවරණය වී ඇතැයි ද පොලීසිය පවසයි . කොරෝනා වසංගතය නිසා නිරෝධායන නීති පැවැති සමයේදී මෙම සැකකාර සැරයන්වරයා සිය නිල ඇඳුමෙන්ම මත්ද්‍රව්‍ය විකුණා උපයාගත් මුදල් ප්‍රවාහ කර ඇතැයි ද කරුණු අනාවරණය වන බව පොලිසිය සඳහන් කරයි.  අත්අඩංගුවේ පසුවන සැකකරු ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් සහ දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව මෙම සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට ඔහු පෑලියගොඩ පොලිසියේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.