මීට වසරකුත් මාස 10කට පමණ ඉහතදී මියගිය 13 හැවිරිදි දැරියකගේ මරණය සම්බන්ධයෙන් 22 හැවිරිදි තරුණයකු රත්නපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බැව් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
2018 වර්ෂයේ ඔක්තෝබර් 1 වැනිදා මෙම දැරියගේ මළ සිරුර ගාල්ල, දඩල්ල කනත්ත ඉදිරිපිට වැටකෙයියා ගසක එල්ලෙමින් තිබිය දී
සොයා ගෙන තිබිණ. දුරකතන වාර්තා විශ්ලේෂණය කොට දීර්ඝ විමර්ශනයකින් පසු දැරියගේ ඝාතනයේ සුලමුල අනාවරණය කරගැනීමට පොලිසියට හැකි වී ඇත.

මියගිය දැරිය ගොඩකවෙල, පොලේබැද්ද, බඹරගල ප්‍රදේශයේ පදිංචිකාරියක බව පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා රෝහල් ආරක්ෂකයෙකු ලෙස සේවය කොට ඇති අතර මෙම බාලවයස්කාර දැරිය රෝහලට පැමිණි අවස්ථාවක දැරියට තම ජංගම දුරකතන අංකය ලබාදී ඇති අතර පසුව දැරිය තමන් හමුවීමට එන ලෙස දැන්වීමෙන් පසු දෙදනාම තිරුවානකැටිය ප්‍රදේශයේ හෝටලයක රැයක් ගත කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

මොවුන්ට මුදල් නොමැතිකම නිසා දැරියගේ කරාබු ජෝඩුව රත්නපුර ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට උකස්කොට රුපියල් 11000ක  මුදලක් ලබාගෙන මොරටුව ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන එහි දින දෙකක් ගත කර ඇති අතර කාමර කුලි වශයෙන් රුපියල් 6000ක මුදලක් ලබාදීමෙන් පසු මොවුන් දෙදෙනා බස්රථයක නැගී ගාල්ල මහමෝදරට පැමිණ ඇති බවට පොලිසිය කළ මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇත.
බාලවයස්කාර දැරියක නිසා විවාහවීමට නොහැකි බව තරුණයා පැවසීමෙන් පසුව දැරිය ගෙදර යාමට නොහැකි බව කියා ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
දැරිය ඝාතනය කරන්නට තරුණයා කටයුතු කර ඇතැයි සැක කරන්නේ ඉන් පසුවයි.

ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විකුම්ගිණිගේ මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක දිනේෂ් නිශාන්ත ද සිල්වා ඇතුළු නිලධාරීන් දුරකතන විශ්ලේෂණ වාර්තා උපයෝගී කරගෙන සැකකාර තරුණයාගේ දුරකතන අංක සොයාගෙන ඒ ඔස්සේ කෙරුණ විමර්ශනයට අනුව සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ලබාගන්නා ඩැවි විස්තර අනුව ඝාතනයේ සුළමුල අනාවරණය කරගන්නට අපේක්ෂා කෙරේ.

- ජේ.කේ.එල්.චාමින්ද -