“අපි ළග ආයුධ ඕන තරම් තියෙනවා. අපේ මිනිස්සු එළියේ ඉන්නවා. අප හිරකළාට වැඩක් නැහැ.
ඔය ජනාධිපති ඉන්නේ අවුරුදු පහයි. බන්ධනාගාර ලොකොත් මරනවා. මට ජනාධිපතිත් ලොකු නෑ. ආරක්ෂක ලේකම්ටත් එච්චරයි කියන තියෙන්නේ. ඕන්නම් එයාටත් මෙතැනට එන්න කියන්න. එයාටත් කියන්න තියෙන්නේ එවරයි.”  යැයි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන "කොස්ගොඩ තාරක” ඇතුළු රැඳවියන් පිරිසක් බන්ධනාගාර බලධාරින්ට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරම්භ කර තිබේ.

බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන ධර්මකීර්ති පෙරේරා විජේසේකර
නොහොත් “කොස්ගොඩ තාරක", කැලුම්  ඉන්දික සම්පත් නොහොත් “කැවුමා" සහ ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් “පොඩි ලැසී යන“ අය බන්ධනාගාර කොමසාරිස්වරුන් තිදෙනකුට මෙම ප්‍රකාශය කර ඇති බවත් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස බන්ධනාගාර මූලස්ථානය කර ඇති පැමිණිල්ලකට අදාළව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.  ඒ අනුව බන්ධනාගාර කොමසාරිස්  (සුබ සාධක සහ පුනරුත්ථාපන) චන්දන ඒකනායක, බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්) තුසිත උඩුවර සහ බන්ධනාගාර බුද්ධි අංශ ප්‍රධානී ප්‍රසාද් ප්‍රේමතිලක යන මහත්වරුන්ගෙන් අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුව ඊයේ (20) පැය හතරකට ආසන්න කාලයක් මේ පිළිබදව ප්‍රකාශ ලබාගෙන ඇතැයි බන්ධනාගාර මූලස්ථානය කියයි.

කොස්ගොඩ තාරක ඇතුළු රැඳවියන් කිහිප දෙනකු ඉකුත් ජුනි මස 26 වැනිදා කළ ආහාර වර්ජනයක් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ඉහත නම් සඳහන් බන්ධනාගාර කොමසාරිස්වරුන් තිදෙනා බූස්ස බන්ධනාගරයට ගොස් සිටියදී ඔවුන් මෙම ප්‍රකාශය කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙසත් සඳහන් කරමින් බන්ධනාගාරය ආරක්ෂක අමාත්‍යංශයට සහ පොලිස්පතිවරයාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි ද පොලිස්  මූලස්ථානය පවසයි. “මා ළග ඕන තරම් ආයුධ තියෙනවා. අපිව හිර කළාට වැඩක් නැහැ. මගේ මිනිස්සු ඕන තරම් එළියේ ඉන්නවා. ජනාධිපතිට සෙල්ලම් දාන්න පුළුවන් වෙන්නේ අවුරුදු පහයි නේ." යැයි කොස්ගොඩ තාරක නමැත්තා ප්‍රකාශ කර ඇති බවත්, “තොපේ ජේලර් මැරුවෙත් මම, ඇයි අපිව ඔක්කෝම මේකට  ගෙනල්ලා හිරකළේ. අපි මෙතැත හිරකළා කියලා වැඩක් නැහැ. එළියේ යකඩ ඔකෝම ක්‍රියාත්මකයි. ජනාධිපතිටත් ආරක්ෂක ලේකම්ටත් එච්චරයි. උඹලාටත් එච්චරයි. උඹලවත් බාවනවා" යනුවෙන්  “පොඩි ලැසී" නමැත්තා ප්‍රකාශ කළ බව බන්ධනාගාරය සිය පැමිණිලෙන් සඳහන් කර ඇතැයි පොලිස් මුලස්ථානය කියයි.

 “2012 දී වැලිකඩ කැරැල්ලේ දී එස්. ටී. එෆ්. දම්මලා මාව මරන්න හැදුවා. දැන් මේකේ හිරකරලා මරන්න හදනවා. තොපි ඔක්කෝම මරලා දානවා" යනුවෙන් මෙහිදී “කැවුමා" නැමැත්තා ප්‍රකාශ කර ඇති බව සඳහන් කරමින් බන්ධනාගාර මූලස්ථානය මෙම ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන
ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇතැයි ද එම ආරංචි මාර්ගවලින් පැවසේ.  මෙම සිද්ධියට අදාළව පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති බවත් ඒ අනුව ඊයේ (20) එම දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය වැලිකඩ බන්ධනාගාර මූලස්ථානයට ගොස්  අදාළ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් බන්ධනාගාර මූලස්ථානය පවසයි.


-නිමන්ති රණසිංහ-