බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික ජනාධිපතිවරයා මෙන්ම, එරට ඉහළම මට්ටමේ COVID-19 රෝගියාද වන ජෙයාර් බොල්සොනාරෝ පෙරේදා (19දා) පස්වරුවේ ඇල්වොරාඩා ජනාධිපති මන්දිර භූමියේ ඇවිදිමින් සිය ආධාරකරුවන් පීරිසකට සුබ පැතු සිදුවීම දැඩි විවේචනයට බඳුන් වෙමින් තිබේ.
ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් ගිණුම හරහා මෙම අවස්ථාව ප්‍රචාරය කළ අතර, එහිදී බොල්සොනාරෝ මුඛ ආවරණයක් පැලඳ සිටියද, ඔහුගෙන් සැලකිය යුතු දුරස්ථභාවයක් පවත්වා ගෙන යන බවක් නොපෙන්වූ සහායකයන් කිහිප දෙනෙකු ඔහු සමීපයේ සිටින ආකාරය දැකිය හැකි විය. එසේම බොල්සොනාරෝ කතා කරමින් සිටියදී නැවත නැවතත් මුඛ ආවරණය පහත් කරමින් කතාකළ ආකාරයද සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කිරීමක් බවට විවේචනය එල්ල විය.


මෙහිදී ඔහුගේ ආධාරකරුවන් කුඩා ජල ඇළකින් ජනාධිපතිවරයාගෙන් වෙන්වූ නමුදු ඉන් දෙදෙනෙකු බොල්සොනොරෝන්ගේ පැත්තට ගමන් කරනු දැකිය හැකිවිය. ශාරීරික ආබාධයක් ඇති බවක් පෙනෙන්නට තිබූ එක් අයෙකුව අනෙකා විසින් ජනාධිපතිවරයා සමීපයට කැඳවාගෙන ගියේ කොරෝනා වසංගතය අමතක කරමිනි.

"විශ්වාසයට ස්තුතියි" බොල්සොනාරෝ ඔවුනට පැවසුවේය. “මට ඔබ සැම වෙනුවෙන් සේවය කිරීමට අවශ්‍යයි.”

මේ අතර බොල්සොනාරෝ කුඩා බෙහෙත් පෙට්ටියක් රැස්ව සිටි ආධාරකරුවන්ට පෙන්වා සිටිමින්, විශේෂඥයන් කුමක් කීවත් තමන් හයිඩ්‍රොක්සිලෝරොක්වීන් ඖෂධය පාවිච්චි කරන බව කියා සිටියේය. කෙසේ වෙතත් බ්‍රසීලයේ බෝවන රෝග පිළිබඳ සංගමයද පසුගිය සිකුරාදා වාර්තාවක් නිකුත් කරමින් මෙම ඖෂධය එරට රෝහල භාවිත නොකරන ලෙස ඉල්ලීමක් කළ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලොව පුරා විශේෂඥයන් රැසක් එම මැලේරියා ඖෂධයෙන් නව කොරෝනා රෝගීන්ට යහපතක් අත්නොවන බවට අවධාරණය කර ඇති පසුබිමක ඔහු මෙම අදහස පුන පුනා ප්‍රකාශ කළේය. ඒ අනුව මුල සිටම වෛරසය පුංචි උණක් ලෙස සලකමින් එය ගණනකට නොගත් බ්‍රසීල නායකයාගේ වගකීමෙන් තොර හැසිරීම හමුවේ එරට මිලියන ගණනක් ජනතාව දැඩි අනතුරකට හෙළා ඇති බවට දැඩි විවේචනයක් පවතී.

 මෙසේ නිවැරදි නායකත්වයක් බ්‍රසීලය වෙත ලබාදීමට ඔහු අපොහොසත්වීම නිසා බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගෙවීගිය දිනයේ නව කොරෝනා ආසාදිතයන් 23,529ක් වාර්තා කළ අතර ඒ සමග රටේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව2,098,389ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව COVID-19 මරණ 716ක් වාර්තා කර ඇති අතර, මේ වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 79,488ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.