සුගියදා සමරනු ලැබූ පියවරුන්ගේ දිනයේදී අව්වේ පිච්චෙමින් අයිස් පලම් විකුණමින් සිටි වැඩිහිටි පුද්ගලයෙකුට ලද උපහාරය විදෙස් මාධ්‍ය තුළ පුවත් මවා තිබේ.
උෂ්ණාධික ගිම්හාන දිනයක ඇමරිකාවේ චිකාගෝහි කරත්තයක් තල්ලු කරගෙන යමින් අයිස් පලම් විකුණූ මොහු 70 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙකි. උෂ්ණාධික කාලගුණයක් යටතේ මෙය ලෙහෙසි පහසු කාර්යයක් නොවුවද ඔහුට මුණගැසුණු යහපත් පාරිභෝගිකයන්ගේ කාරුණික ක්‍රියාවක් නිසා
ඔහුට මෙම සිදුවීමෙන් පසු ඇතිතරම් මුදල් ලැබීමෙන් රැකියාවෙන් විශ්‍රාම ගැනීමට අවස්ථාවක් උදාවී තිබුණි.
රොසාරියෝ ඩෙල් රියල් නමැති මෙම පුද්ගලයා ඔහුගේ වයසින් අඩක් වන බොහෝ පුද්ගලයන්ටත් වඩා වෙහෙස මහන්සි වී වැඩ කරයි. මේ මාසය වන තෙක් ඔහු නිවසේ සිට වඩු වැඩවල යෙදී සිටියේය. අනතුරක් හේතුවෙන් වඩු කාර්මික වෘත්තියෙන් සමු ගැනීමට සිදු වූ රොසාරියෝ ශීතකරණයක් සහිත කරත්තයක අසල්වාසීන්ට අයිස් පලම් විකුණමින් දවස ගෙවීය.
හිතවතුන් විසින් දොන් රොසාරියෝ ලෙස හඳුන්වන මොහු උපත ලබා තිබෙන්නේ මෙක්සිකෝවේ සකටෙකාස්වලය. අයිස් පලම් විකිණීමේදී ඔහු පාරම්පරික ඇඳුමින්, එ‍‍‍ඬේර තොප්පියකින් සහ සිදුරු කරන ලද බෙල්ට් පටියකින් සැරසී සිටියි.
එදින එක්සත් ජනපදය පුරා සිටි පියවරුන්ට නිවාඩු දිනයක් වුවද රොසාරියෝට නම් එය රාජකාරියේ යෙදෙන තවත් දිනක් පමණක් විය. එදින පවුල්වල සාමාජිකයන් සමඟ බාබකිව් දමමින් සිටි වික්ටර් ඩොමින්ගස් සහ ඔහුගේ මිතුරා වූ ඔස්කා ගොන්සාලෙස් විසින් රොසාරියෝටද ඔවුන් හා එක් වීමට ආරාධනයක් ලැබී තිබේ.
ඔහු එම පුද්ගලයන් සමඟ ඉක්මනින් මිතුරු වූ අතර රොසාරියෝට නිවෙසට ගොස් විවේක ගැනීමට අවස්ථාව ලබා දීම සඳහා ඔහුගේ කරත්තයේ තිබූ අයිස් පලම් සියල්ලම මිල දී ගැනීමට එම පුද්ගලයන් තීරණය කර තිබේ.

මෙසේ අයිස් පලම් සියල්ලම මිල දී ගන්නා අවස්ථාව ඔහුට ආරාධනා කළ පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු වීඩියෝ කර ඇති අතර එය සමාජ ජාල ‍තුළ පළ විය. මෙම වීඩියෝව බොහෝ පුද්ගලයන්ගේ අතට පත් විය. පසුව මෙම පුද්ගලයා සඳහා අරමුදලක් එකතු කිරීමට පුද්ගලයෙකුව පත් කරන ලදි. මුල්ම ඉලක්කය වූයේ ඔහු වෙනුවෙන් ඩොලර් 10,000ක් එකතු කිරීම වුවද ඔහුව නාඳුනන ත්‍යාගශීලි පුද්ගලයෙකු විසින් ඔහු වෙනුවෙන් ඩොලර් 62,000ක පරිත්‍යාගයක් සිදු කර තිබේ. (ශ්‍රී ලංකා මුදලින් රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂයක්)

වැඩ කිරීමට ලැබෙන අවස්ථාව වරප්‍රසාදයක් ලෙස තමන් සැලකුවද ඔහුගේ පාරිභොගිකයන්ගේ ත්‍යාගශීලිත්වය දුටු විට තම දෑස කඳුලින් බර වූ බව රොසාරියෝ පවසා තිබේ. ඔහු එසේ පැවසුවේ ඔහු වෙනුවෙන් පුද්ගලයෙකු පරිත්‍යාග කර තිබෙන විශාල මුදල් ප්‍රමාණය පිළිබඳව දැනගැනීමටද පෙරය.
“මම කැමති නැහැ ගෙදරට වෙලා කිසිවක් නොකර ඔහේ අරමුණක් නැතිව ඉන්න. මා වෙනුවෙන් මෙම උපකාරය සිදු කළ පුද්ගලයන්ට ස්තුතිවන්ත වෙන්න මා ළඟ තිබෙන කිසිවක් ප්‍රමාණවත් වේවි කියා මා සිතන්නේ නැහැ. මට ලොකු සතුටක් දැනුණා” රොසාරියෝ පැවසීය.

දොන් රොසාරියෝ එක්සත් ජනපදයට මුල්ම වතාවට පැමිණ තිබෙන්නේ 1969දීය. 1979දී ඔහු එහි පුරවැසියෙකු බවට පත් වී තිබේ. ඔහු මුල්ම වතාවට පැමිණි අවස්ථාවේදී ඔහුගේ පවුලේ දරිද්‍රතාවයෙන් පෙළුණු බවත් ඔවුන්ගේ එකම ඉලක්කය වූයේ දිනකට සෑම දිනකටම එක් ආහාර වේලක් හෝ හරි හැටි ලබාගැනීමත් බව ඔහු පැවසීය.

කැලිෆෝනියාවේද ටෙක්සාස් සහ ඔරිගන්වලද ඔහු වැඩ කර තිබේ. අවසානයේදී චිකාගෝවලින් නිවසක් මිලට ගැනීමට ඔහුට හැකි වී තිබේ. එහිදී ඔහුට සහ ඔහුගේ බිරිඳට දරුවන් තුන්දෙනෙකු උපත ලබා ඇත. ඔහු නිවස සඳහා ගෙවීම් අවසන් කර තිබෙන්‍නේ 2015දීය.
දැන් ඔහුට නිවාඩු පාඩුව ඔහුගේ විශ්‍රාම දිවිය භුක්ති විඳීමට හැකි වුවද ඔහු දිගටම වැඩ කරන බවත් එයින් ඔහුට විශාල තෘප්තියක් ලැබෙන බවත් ඔහු සඳහන් කර තිබේ.

(“ගුඩ් නිව්ස් නෙට්වරක්” ඇසුරිනි)
එස්. දහනායක