මරිකාවේ මේරිලන්ඩ්හි කෝවිඩ්-19 වසංගතය මධ්‍යයේ ආසාදිතයන් වෙනුවෙන් කැප වී සේවය කළ වෛද්‍යවරුන් අතරින් ජෝසෆ් කොස්තා එක් පුද්ගලයෙක්ය.
මේරිලන්ඩ්හි බැල්ටිමෝර්හි මර්සි වෛද්‍ය මධ්‍යස්ථානයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රධානියා වූ ඔහු
විද්‍යාඥයෙක්ද වන අතර ලොව තිබෙන සියල්ලට වඩා ඔහු රැකියාවට ආදරය කළ අයෙක් බව සඳහන්ය.
“ජෝසෆ්ගේ සේවකයන් ඔහුගේ කිට්ටු මිතුරන් විය.
ඔහුගේ මරණින් පසුව ඔහුගේ නිවස බලාගත් මෙහෙකරුවෙක් හැඬුවේ, ‘මගේ හොඳම මිතුරා මට අහිමි වූවා’ කියා” බව ඔහුගේ බිරිඳ ‍ඩේවිඩ් හාට් පවසයි.
“බැල්ටිමෝරයේ දැඩි සත්කාර ඒකකයේ ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සිටි එක් වෛද්‍යවරයෙක් අහිමි වූවා” ඩේවිඩ් හාට් තවදුරටත් පැවසීය.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන්වල නිරත වන පුද්ගලයන්ට තිබෙන අවදානම පිළිබඳව අනතුරු අඟවා ඇති බව සඳහන්ය. මාර්තු මාසයේ සිට මේරිලන්ඩ්හි වෛරසය ආසාදනය වීමෙන් සහ ආසාදනය හේතුවෙන් උත්සන්න වූ සෞඛ්‍ය තත්ත්වයන්ගෙන් පුද්ගලයන් 3315ක් මිය ගොස් තිබෙන බව වාර්තා වේ.

ජෝසෆ්ට වෛරසය ආසාදනය වූයේ කෙසේදැයි පැහැදිලි නැතත් වසංගතය සමඟ පොරබදන වෛද්‍ය සාමාජයට ඔහුගේ මරණය මගින් කම්පනයක් ඇති වී තිබේ. සඳුදා දින ඔහුගේ මරණය පිළිබඳව සමාජ මාධ්‍යයේ පළ වූ පුවතට බොහෝ පුද්ගලයන් ප්‍රතිචාරය දක්වා ඇති අතර ඇතැමුන් ඔහුව හැඳින්වූයේ “වීරයෙකු” ලෙසය.
තමා වෛද්‍ය ජෝසෆ් සමඟ වැඩ කර තිබෙන බව වෛද්‍ය නේඩා ෆ්‍රේහා පැවසීය. “මට මතකයි එක් රැයක් පුරා අපි අසාධ්‍ය රෝගීන්ට ප්‍රතිකාර කළා. අපට උපකාර කිරීම සඳහා ජෝසෆ් එම ස්ථානයට පැමිණි විට අප අපිට විශාල සන්සුන්බවක් දැනුණා. ඔහු කරුණාවන්ත සහ දක්ෂ පුද්ගලයෙක්. මෙම සති අන්තයේදී ඔහු තමාගේම දැඩි සත්කාර ඒකකය තුළ මිය ගියා” ට්වීටර් ගිනුමේ සටහනක් තබමින් ෆ්‍රේහා පැවසීය.

රෝග පාලනය සහ වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථානවල දත්ත අනුව වෛරසය නිසා ඇති වූ සංකූලතා හේතුවෙන් බැල්ටිමෝර්හි අවම වශයෙන් සෞඛ්‍ය සේවකයන් 576ක් මිය ගොස් තිබේ. නමුත් එම දත්ත අසම්පූර්ණ බැවින් ඊට වඩා වැඩි සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව පිළිගැනේ.
එමෙන්ම නැවතත් මේරිලන්ඩ්හි ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යන බව පෙනෙන්ට තිබේ. සඳුදා දින නව ආසාදිතයන් 1000කට වැඩි ප්‍රමාණයක් වාර්තා විය. පුද්ගලයන් 536ක් රෝහල්ගතව සිටින බව එරට රජය වාර්තා කර තිබේ. මේ මාසය මුල වන විට රෝහල්ගත වී තිබුණේ 385ක්ය.
බැල්ටිමෝරයේ ප්‍රථම කෝවිඩ්-19 ආසාදිතයා වූයේ මයිකල් ග්‍රීන් නමැත්තා වන අතර ඔහුව මාර්තු 18වැනිදා මර්සි වෛද්‍ය මධ්‍යස්ථානයේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබීය. ඔහු සති 7කට කිට්ටු කාලයක් කෝමා තත්වයෙන් පසු විය.

ඔහුව බැලීමට යෑමට ඔහුගේ පවුලේ සාමාජිකයන්ට අවස්ථාව නොලැබීම හේතුවෙන් ඔහුගේ බිරිඳ නිතරම ජෝසෆ්ව අමතා මයිකල් පිළිබඳ තොරුතුරු විමසීය. ඔහු සෑම විටම තම සැමියාගේ තත්ත්වය පිළිබඳව අවංකව තොරතුරු සැපයූ බව ඇය පවසයි. එසේ වුවද “අප බලාපොරොත්තු අත්නොහැරිය යුතු බව ඔහු නිතර අපට දැනෙන්නට සැලැස්වූවා” ඇය සඳහන් කළේය.
“පවුලේ අයට ඔහුව බලන්න විදිහක් නැති නිසා ඔබේ සැමියාව පමණක් නොව ඔබවද අප සලකන්නේ අපෙන් ප්‍රතිකාර ලබන පුද්ගලයෙකු ලෙසය. ඔබේ සැමියාව බලාගන්නා තරමටම ඔබව බලාගැනීමටද අප සූදානම්” ‍වෛද්‍ය ජෝසෆ් පැවසූ බව මයිකල්ගේ බිරිඳ ගේල් සඳහන් කරයි.
63 හැවිරිදි මයිකල් තම කෝමා තත්ත්වයෙන් පියවි සිහියට පැමිණි පසුව ඔහුව පුනරුත්ථාපනය කර මුලින් තිබූ ශක්තිය නැවත ලබාගැනීමට සහ දිගටම සුව අතට හැරවීම සඳහා යොමු කරන ලදි. ඔහුට ඉන් පිට වී නිවසට පැමිණීමට හැකි වූයේ ජූනි 29දාය.
“මම හිතාගෙන හිටියේ දවසක මර්සි වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් වෛද්‍ය ජෝසෆ්ට සහ ඔහු යටතේ සේවය කළ කාර්යමණ්ඩලයට ඔවුන් මා වෙනුවෙන් කළ දේට ස්තුති කිරීමට සහ ඔහු මා වෙනුවෙන් කළ දේ මා කොතරම් අගය කරනවාද යන්න පැවසීමටය. නමුත් දැන් එය කරන්න වෙන්නෙ නැති එක තමයි මට ඇති වුණ විශාලම කනගාටුව” මයිකල් සඳහන් කළේය.
තමා මෙතෙක් දැක තිබූ එඩිතරම පුද්ගලයා ජෝසෆ් බව හාට් පවසයි.

“මිනිසුන් මුහුණු ආවරණ පැළඳ නොසිටින බව මා දකින විට මා තුළ විශාල කෝපයක් ඇති වෙනවා. මට හිතෙනවා මගේ කාර් එකේ පසුපස පෙනෙන කණ්ණාඩියේ  ‘කෝවිඩ්-19 වෛරසයෙන් බොහෝ ජීවිත ආරක්ෂා කළ මගේ සැමියා එම වෛරසයෙන්ම මිය ගියේය. මුහුණු ආවරණයක් පළඳින්න’ කියා සටහන් කරන්න.
“ගෝලීය වසංගතය අපට බලපෑමට පටන්ගත් විට ජෝසෆ් තමා ගැනවත් නොසිතා ඔහුගේ රාජකාරි සිදු කළා. විශාල අවශ්‍යතාවක් ඉස්මතු වූ මෙවන් මොහොතක ඔහු අපගේ රෝගීන් සහ නගරය වෙනුවෙන් දැඩි සේ කැප වූවා. ඔහු පිළිබඳ මතකය අප සැමට ආදර්ශයක් ලෙස සජීවීව ඉතිරි වේවි” මර්සි වෛද්‍ය මධ්‍යස්ථානයේ නිලධාරීන් ලබා දුන් ප්‍රකාශයක සඳහන් විය.

කොස්තා 1990දී මේරිලන්ඩ් ඖෂධ විශ්වවිද්‍යාලයේ උපාධිය ගෙන තිබේ. 1997 සිට ඔහු මර්සි ආයතනය වෙනුවෙන් සේවය කර ඇති අතර ප්‍රධාන වශයෙන් පෙනහැල්ල පිළිබඳව සහ දැඩි සත්කාර ඒකකයේ සේවය කර තිබේ. එම මධ්‍යස්ථානයේ දැඩි සත්කාර ඒකකයේ  ප්‍රධානියා ලෙස ඔහු අවුරුදු 15ක් පුරා කටයුතු කළේය. 2010 වන තෙක් ඔහු එම මධ්‍යස්ථානයේ ලේඛම්, භාණ්ඩාගාරික, උපසභාපති යන තනතුරුද 2014 සිට 2016 දක්වා වෛද්‍ය කාර්යමණ්ඩලයේ සභාපති තනතුරද හොබවා ඇත.
වෛද්‍ය ආචාරධර්ම කමිටුවේ සභාපති ලෙසද ඔහු කටයුතු කර තිබේ. ඔහු සියල්ලන්ට සමානව සැලකිය යුතු බව විශ්වාස කළ පුද්ගලයෙකු කියා හාට් පවසයි. රැකියාව සඳහා කලින්ම පැමිණෙන ඔහු නිවාඩු දිනවලද ස්වේච්ඡාවෙන් සේවයේ නිරත වී තිබේ. එසේ කර තිබෙන්නේ දරුවන් සිටි ඔහු සමඟ වැඩ කළ පුද්ගලයන්ට එම නිවාඩු භුක්ති විඳීමට ඉඩ සලසා දීම සඳහාය.

රැකියාවට අමතරව ජෝසෆ් පොත් කියවීමට රුසියෙකි. ඔහු ජර්මානු සහ ඉතාලි භාෂා හැසිරවීමට හොඳින් දැන සිටියේය. ඔහු සිටි නිවසේ පොත්වලින් අඩුවක් නැත. පසුගිය වසර තුන පුරාවට කොස්තා වැඩිපුරම කියවා ඇත්තේ ඉතාලි පොත්ය.
ඔහු දක්ෂ පියා‍නෝ වාදකයෙකු බවත් මෑතකදී මැන්ඩලීනය වැයීමට ඉගෙනගත් බවත් සඳහන්ය.
“වෛද්‍යවරයෙකුව විවාහ කරගත් විට එය ලෙහෙසි දෙයක් නොවෙයි. ඔහුව බොහෝ අවස්ථාවලදී මඟහැරෙනවා. නමුත් අප ගොවිපොළට ගිය විට නිතරම සතුටින් කාලය ගත කරනවා. ඔහු වැඩවලටම කැප වූ පුද්ගලයෙක්. ඔහුට සැහැල්ලු වෙන්නේ කොහොමද කියා මා ඉගැන්වූ බව ඔහු පැවසුවා” හාට් පැවසීය.
(baltimoresun ඇසුරිනි)
එස්. දහනායක