මන්නාරම සිට හලාවත, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයන්හී හෙට (30) දහවල් 12.00 දක්වා ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
 එම මුහුදු ප්‍රදේශයන්හි පැයට කිලෝමිටර 60, 70 පමණ දක්වා වේගවත් තද සුළං ඇතිවිය හැකි නිසා විටින් විට ඉතා රළු විය හැකි බවත්, නාවුක ප්‍රජාව ද මේ සම්බන්ධව අවධානයෙන් කටයුතු කළ යුතු බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.   දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (29) දිනයේදී තද වැසි ඇතිවන අතර ඇතැම් ප්‍රදේශයන්ට මිලිමීටර 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානයන්හී මිලිමීටර 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇතිවන අතර උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවැසීය.

සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය. දකුණු පළාතේත්, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැයට කිලෝමීටර 60, 70 පමණ වේගවත් තරමක තද සුළං ඇතිවිය හැකි බව ද ඔහු පැවැසීය.

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට  දක්වා වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හා ගොඩබිමට පැමිණීම සිදුවිය හැකි බැවින් වෙරළාසන්න ප්‍රදේශවල ජනතාව විමසිලිමත් විය යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු අතතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

(ඩයනා උදයංගනී)