සුගිය 18 වනදා බොරැල්ල කැම්බල් රථ ගාලේ සිට ගිරිඋල්ල ප්‍රදේශයට කුලී ගමනක් යාමට අවශ්‍ය බව දැන්වූ දෙන්නෙකු එම ගමන යන අතරවාරයේ මෝටර් රථයේ රියදුරා ලෙස කටයුතු කළ එහි හිමිකරු පාළු ස්ථානයක තනිකර දමා රථය පැහැරගෙන යාමේ පුවතක් වාර්තාවේ.
බොරැල්ලේ බන්ධනාගාරය අසළ කැම්බල් රථ ගාලෙන් මොවුන් රථය ලබාගෙන ඇත්තේ
බන්ධනාගාර නිලධාරීන් ලෙස පෙනී සිටිමිනි. තමන්ට කුරුණෑගල දෙසට කුලී ගමනක් යන්නට අවශ්‍ය බව දන්වා
රියදුරු සමග මන් කරද්දී ගිරිඋල්ල, හමන්ගල්ල, කොහිලවල ප්‍රදේශයේ අතහැර දමා ඇති කළුගල් කඩන ස්ථානයකට පැමිණි සැකකරුවන් රියදුරුට දන්වා ඇත්තේ ටික වේලාවක් නතර කරන ලෙසත් මුදල් එකතුකරගැනීමට මිතුරෙකු හමුවී එන බවත්ය.
මෝටර් රථයෙන් බැස එම ස්ථානයෙන් පිටව ගොස් ඇති ඔවුන් දෙන්නා පසුව මොට ආයුධයක්ද රැගෙන එම ස්ථානයට පැමිණ ඇති අතර සැකකරුවන් තමන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරින් බව පවසා ඇති අතර රියදුරාට පහරදි මෝටර් රථයෙන් පිටතට ගෙන තිබේ.
අනතුරුව ඊට යාබද ඇති පාලුවට ගිය නිවසක් වෙත රියදුරුව ඇදගෙනගොස් එහි කාමරයක ඇඳක කඹයකින් ගැට ගසා දමා ඇති අතර යතුරද ඉල්ලාගෙන මෝටර් රථය කොල්ලකා පළා ගොස් ඇත.

ගම්පහ, ඔරුතොට ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පැහැරගත් මෝටර් රථයේ හිමිකරු මහත් පරිශ්‍රමයක් යොදා ගැට ගසා තිබූ බැමි ලිහිල් කර ගනිමින් එම ස්ථානයෙන් ප්‍රධාන මාර්ගයට පැමිණ මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයකින් පොලිස් හදිසි ඇමතුම් අංශයට සිද්ධිය පිළිබද දන්වා තිබේ.
අනතුරුව එම ස්ථානයට පැමිණි ගිරිඋල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් සිද්ධිය පිළිබඳ පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇත. පොලිස් පණිවිඩ අනුව පැහැරගත් මෝටර්ථයට සමාන මෝටර් රථයක් ගිරිඋල්ල ප්‍රදේශයේ සැරිසරන බවට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය ඩිපෝව අසල රැකවලා සිටි අතර එම ස්ථානයන් වේගයෙන් ගමන්ගත් මෝටර් රථයට නතර කරන ලෙස සංඥා නිකුත් කළද අණ නොතකා ධාවනය කර තිබේ.

එම අවස්ථාවේ මෝටර් රථයට පොලීසිය වෙඩි තැබීමට සිදුව ඇත. ඉන් පසු කොබැඳි ඇල්ල මාර්ගයේදී එක් සැකකරුවෙකු සමග අදාළ මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර අනෙක් සැකකරු පළා ගොස් තිබේ. එහිදී අදාළ මෝටර් රථයේ තිබී කුඩා අත්බෝම්බයක්ද පොලිස් භාරයට ගනු ලැබ ඇත.
අනතුරුව එම ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකින් පසු පලා ගිය සැකකරු සහ මෝටර් රථයෙන් ගලවා පන්නල ප්‍රදේශයට උකස් කරන ලද කැසට් රෙකෝඩරයක් ඇතුඵ උපකරණ රැසක් සොයා ගත් බවද පොලීසිය පවසයි.‍

 මෝටර් රථය මංකොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ දෙදෙනා අලිමොටා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන 32 හැවිරිදි ගිරිඋල්ල මැද්දෙපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකු හා එලිබිච්චිය බෝගහ ජනපදයේ පදිංචි අනෙක් සැකකරු 40 හැවිරිදි අයකු බවද පොලීසිය කියයි.
සැකකරුවන් විසින් පැහැරගත් මෝටර් රථය හා ඔවුන් විසින් උකස් කරන ලද එහි කොටස් කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 20දා කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.