කොළඹ-හලාවත මාර්ගයේ මහවැව පොලිස් මාර්ග බාධකයේදී ව්‍යාපාරිකයකුගේ 92,400ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාරවිල මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කළ උපපොලිස් පරික්ෂකවරයකු හා පොලිස් නිලධාරියකු ඊයේ (21) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත්
මෙම උපපොලිස් පරීක්ෂකගේ හා කොස්තාපගේ වැඩ තහනම් කර ඇති අතර වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ නියෝගයකට අනුව එම වැඩතහනම කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මිගමුව පෙරියමුල්ලේ පදිංචි 57 හැවිරිදි මස් කඩ ව්‍යාපාරිකයකු පෙරේදා (20) යතුරු පැදියෙන් මහවැව පොලිස් මාර්ග බාධකය ඔස්සේ ගමන් කරමින් සිටියදී එම යතුරු පැදිය මාර්ග බාධකයේ යකඩ වැටක ගැටී එහි සවිකර තිබූ විදුලි බුබුළකට හානි සිදුවී ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය.

විදුලි බුබුළකට හානි සිදු වීම හේතුවෙන් මාර්ග බාධකයේ පොලිස් නිලධාරීන්ගේ දැනුම්දීමට අනුව ව්‍යාපාරිකයා ඒ මොහොතේම විදුලි බුබුළක් මිලදී ගෙන විදුලි කාර්මිකයකු යොදවා එම විදුලි බුබුළ සවිකර ඇති අතර විදුලි බුබුළ සවිකළ ගාස්තුව ද ව්‍යාපාරිකය විසින් විදුලි කාර්මිකයාට ගෙවා ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා පැවසීය.  එම කටයුතු නිමා වීමෙන් පසුව ව්‍යාපාරිකයා මාර්ග බාධකයේ මුරකුටියට ගොස් ඇති අතර එහි ගොස් පරික්ෂා කිරීමේ දී ඔහු ඉණේ රඳවාගෙන සිටි රුපියල් 92,400 ක මුදල සහිත කවරය බිම වැටී ඇති බවද පොලිස් ආරංචිමාර්ග කියයි.

බිම වැටුණු රුපියල් 92,400 ක් සහිත මුදල් කවරය එහි සිටි උපපොලිස් පරික්ෂක අහුලාගෙන ඇති බවත් ව්‍යාපාරිකයා එම මුදල් සහිත කවරය ඉල්ලා සිටියද ඔවුන් එය ව්‍යාපාරිකයාට නොදී ඔහුට තර්ජනය කර ඇති බවත් පොලිසිය පවසයි. අහුලාගත් එම මුදලින් කොටසක් උපපොලිස් පරික්ෂක තමා සමග එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල් සමග බෙදාගෙන ඇති බවත්, තවත් රුපියල්  30,000 මුදලක් ඔවුන් සමග රාජකාරි කළ තවත් කොස්තාපල්වරයකුට දී ඇති බවත් පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ. රුපියල් 30,000 මුදල ලබාගත් කොස්තාපල් මාරවිල  මූලස්ථාන පොලිසියට පැමිණ ස්ථානාධිපතිවරයාට සිද්ධිය දැනුම් දී ඔහුට දුන් රුපියල් 30,000 ක මුදල ද  ස්ථානාධිපතිවරයාට බාර දී ඇත.

මේ අතර ව්‍යාපාරිකයා ද තමා සතුව තිබූ රුපියල් 92,400 ක මුදලක් මාර්ග බාධකයේ අතුරුදන් වූ බවට මාරවිල මූලස්ථාන පොලිසියට වෙත පැමිණ පැමිණිල්ලක් කර තිබේ. සැකකාර උපපොලිස් පරික්ෂක හා කොස්තාපල් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේ දී ව්‍යාපාරිකයාගෙන් ලබා ගත් බව කියන මුදල් ඉතිරි කොටස ඔවුන් දෙදෙනා ළඟ තිබී ඇත.

-ඉන්දික රාමනායක-