ඉතා සාර්ථකව කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පාලනය කළ කේරළ ප්‍රාන්තයෙන් යළිත් වරක් කොවිඩ් 19 ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.
මේ වනවිට කේරළයෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ගණන 13,274 කි. මරණ වාර්තා වන්නේ 43 ක් ලෙසිණි. නව ආසාදිතයන් හමුවී ඇත්තේ පූන්තුරා නමැති ධීවර ගම්මානය ආශ්‍රිතවය. මෙම ගම්මානය පිහිටා ඇත්තේ ත්‍රිවන්ද්‍රම් අගනුවරට නුදුරිනි. වෛරස ව්‍යාප්තියත් සමඟ පූන්තුරා නගරය අගුළු දැමීමට (ලොක්ඩවුන්) සෞඛ්‍ය බලධාරින් පියවර ගෙන තිබේ.

ඉන්දියාවෙන් පළමු 'කොවිඩ් 19' ආසාදිතයා වාර්තා වූයේ කේරළයෙනි. ඒ පසුගිය ජනවාරියේය. එම ආසාදිතයා චීනයේ වූහාන් නුවර සිට පැමිණි ඉන්දීය ජාතික වෛද්‍ය සිසුවෙකි.

ඉන්පසු කේරළයෙන් ආසාදිතයත් වාර්තා වුවත් කොරෝනා රැල්ල මර්දනය කර ගැනීමට කේරළ සෞඛ්‍ය බලධාරීහු සමත් වූහ. මැයි මාසය වනවිට ඉන්දියාවේ සෙසු ප්‍රාන්තවලින් කොරෝනා ආසාදිතයන් වාර්තා වුවත්, කේරළයෙන් රෝගීන් වාර්තා වූයේ නැත. කේරළය වෛරසය මර්දනය කළ ආකාරය ඉන්දීය මධ්‍යම රජයේ පවා පැසැසුමට ලක් විය.වෛරසය මර්දනය කරන ආකාරය සම්බන්ධයෙන් ආදර්ශයට ගැණුනේ ද කේරළයයි.

නවදිල්ලියේදී (ඒ.එෆ්.පී.)