මොරටුව අඟුලාන, ලුණාව ප්‍රදේශයේදී පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගිය සිදුවීමක් ඊයේ රාත්‍රී වාර්තා වී තිබේ. ඊයේ රාත්‍රී 11.45 ට පමණ මාර්ග බාධක යොදා වාහන පරීක්ෂාවට ලක් කළ අවස්ථාවක
ත්‍රීරෝද රථයක සිටි බීමත් අයෙකු පොලිස් නිලධාරියෙකුට ගල් ප්‍රහාරයක් එල්ල කළ බව පොලිසිය පවසයි.
එහිදී පොලිස් නිලධාරියෙකු කළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ එම බීමත් පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, අඟුලාන ප්‍රදේශයේම පදිංචි 39 හැවිරිදි අයෙකුය.

රාත්‍රී ජංගම පොලිස් මුර සංචාරයේ නිරතවූ අඟුලාන පොලීසියේ නිලධාරීන් තුන්දෙනෙකු විසින් හදිසි මාර්ග බාධකයක් යොදවා ත්‍රිරෝද රථ දෙකක් පරීක්ෂා කිරීමේදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් පොලිස් රාජකාරියට බාධා කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කර තිබේ.

බීමත්ව සිට ඇති මියගිය පුද්ගලයා පොලිස් ජංගම මුර සංචාරයේ නිරත රථයට සහ රියදුරුට ගල් මුල්වලින් පහර දී තිබෙන බවත් ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා මෙම වෙඩි තැබීම සිදුකරන ලද බවද ඔහු පවසා තිබේ.
අඟුලාන ප්‍රදේශයේ ධීවර ප්‍රජාවට අයත් මියගිය පුද්ගලයා වෙනුවෙන් ප්‍රදේශවාසීන් කළහකාරීව හැසිරුණ අතර අඟුලාන පොලිසිය වටළා පොලීසියට පහරදීමට උත්සාහ ගෙන ඇත.
අනතුරුව අඟුලාන පොලිස් ස්ථානය වෙත පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා ඇත.

එමෙන්ම අඟුලාන මංසන්ධියේ සිට ලුනාව දක්වා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා දැඩි ආරක්ෂාව ලබාදී ඇත.
මේ වනවිට තත්ත්වය පාලනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැන්වීය.
මීට කලකට පෙර පොලිස් අත්අඩංගුවේ සිටි අඟුලාන වැසියන් දෙන්නෙකු මරාදැමීම නිසාද මේ ආකාරයේ කලබලකාරී තත්වයක් අඟුලාන පොලිසිය සම්බන්ධව මතුව තිබුණි.
මියගිය පුද්ගලයාගේ දේහය මේ වනවිට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ තබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
සිද්ධිය ගැන පොලිස් මාධ්‍ය නිවේදන පහතින්
නිවේදනය 1

නිවේදනය2