පොලිසියේ අය දෙවරක්ම පහරදුන්නා. එහිදී අයියා ඇහුවා ඇයි අපට පහර දෙන්නේ කියලා. පස්සේ
අයියටත් වෙඩි තිබ්බා. මගේ නළලටත් තිබ්බා. පහත් වුණ නිසා බේරුණා’ යැයි අඟුලාන ප්‍රදේශයේදී’
පොලිස් වෙඩි තැබීමෙන් මියගිය  කේ. අමිත් කරුණාරත්න මහතාගේ (39) සොහොයුරකු වන අමිල මහේෂ් කරුණාරත්න මහතා පැවැසීය.
සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කරමින්
මොරටුව වැඩ බලන මහෙස්ත්‍රාත් චතුර ද සිල්වා  මහෙස්ත්‍රාත්
පරීක්ෂණ අතරතුර ඇසින් දුටු සාක්ෂි ගැන විමසීම් කළේය. එහිදී සාක්ෂි ලබා දුන් සිද්ධිය සම්බන්ධ ඇසින් දුටු අයකු වන අමිල මහේෂ් කරුණාරත්න මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ මෙසේ පැවැසීය.


‘මියගොස් සිටින්නේ මගේ සහෝදරයා. අපි මාළු අල්ලන අයයි. රස්සාව හැටියට කරන්නේද එයයි. අපි පස් දෙනකු පමණ ත්‍රිරෝද රථ දෙකකින් සිද්ධිය වූ මෙම ස්ථානය පසුකර යෑමේදී පොලිසිය විසින් අපව
නැවත්තුවා. එහිදී පොලිසිය හොඳටම බීලා සිටියා. අප පැමිණි ත්‍රිරෝද රථවල ආදායම් බලපත්‍ර
පරීක්ෂා කරනු ලැබුවා’.
කෝ උඹලා ළඟ තිබෙන කුඩු, ගංජා’ යැයි අසමින් මියගිය මගේ අයියාගේ
කලිසම් සාක්කුව පරීක්ෂා කළා. එහිදී අයියාට පහරක් ගැහුවා. එලෙසින් පොලිසියේ අය දෙවරක්ම පහර දුන්නා. එහිදී අයියා ඇහුවා ඇයි අපට පහර දෙන්නේ කියලා. පස්සේ අයියාට වෙඩි තිබ්බා. මගේ
නළලටත් තිබ්බා. මම පහත් වුණා. ඒ නිසා මම බේරුණා. මෙහිදී මගේ සහෝදරයාට පහරදීමක් සිදු කර නිකරුණේ වෙඩි තැබීමක් සිදුකළ බවත් මෙම තත්ත්වය නිසා මට විශාල කම්පනයක් ඇති වූ බවත් මහෙස්ත්‍රාත් ඉදිරියේ පැවැසීය.

මෙහිදී තවදුරටත් සාක්ෂි දෙමින් වන්නකුවත්ත වඩුගේ නදීෂ් ප්‍රනාන්දු මෙසේද පැවැසීය.

ආදායම් බලපත්‍ර පරීක්ෂා කිරීමට යැයි පවසා අපව පරීක්ෂා කළා. එහිදී අප පැමිණි එක් ත්‍රිරෝද
රථයක ආදායම් බලපත්‍රය තිබුණේ නැහැ. ඒ නිසා දඩ කොළයක් ලිවිය යුතු යැයි පවසා මාව එක් පොලිස් නිලධාරියෙක් ජීප් රථය වෙත රැගෙන ගියා. දඩ කොළයක් නොදුන් එම නිලධාරියා අනතුරුව වෙඩි තැබීමක්ද සිදුකළා. මා එතැනින් දිව ගොස් නැවත පැමිණ මියගොස් සිටින අයව ඉක්මනින් ලුනාව රෝහල වෙත ගෙන ගියා.

එතැනින් ගිලන් රථයකින් කළුබෝවිල රෝහල වෙත ගෙන යෑමට සූදානම් වීමේදී මියගොස් ඇතැයි රෝහලේ අය පැවැසුවා යැයි මහෙස්ත්‍රාත් ඉදිරියේ සාක්ෂි දෙමින් පැවැසීය.
මෙහිදී මොරටුව වැඩබලන මහෙස්ත්‍රාත් පරීක්ෂණ අවසානයේදී පොලිසියෙන් විමසීමක් කරමින් සිද්ධියට අදාළ අය අත්අඩංගුවට ගෙන තිබෙනවාද යනුවෙන් මහෙස්ත්‍රාත්වරයා පොලිසියෙන් ප්‍රශ්න කළේය. පොලිසිය මෙහිදී පවසා සිටියේ අධිකරණ ක්‍රියාමාර්ග අනුව සිද්ධියට අදාළ නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගත්
බවයි. මෙහිදී මහෙස්ත්‍රාත්වරයා වෙඩි තැබූ පුද්ගලයා  හඳුනාගෙන තිබෙන නිසා පරීක්ෂණ පවත්වා
අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කළේය.  මෙම මරණය පිළිබඳව කළුබෝවිල  අධිකරණ වෛද්‍ය නිලධාරීන් සඳහන් කර ඇත්තේ වෙඩි තැබීමකින් සිදුවී ඇති මරණයක් බවයි.

 ගල්කිස්ස ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් පරිදි මොරටුව මූලස්ථාන පොලිස් පරීක්ෂක සහ මොරටුව අපරාධ අංශයේ ස්ථානාධිපති ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි. මියගිය අයගේ අවසන් කටයුතු අඟුලාන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය. 

මොරටුව - ඉරංග ප්‍රනාන්දු