ප්‍රබල පාතාල නායකයෙකු වන ලසන්ත චමින්ද පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා නම් සංවිධානාත්මක අපරාධකරු ඉන්දියාවේදී වස ශරීරගතවී  මියගොස් ඇති බව වාර්තා වෙයි.
ඔහුට විරුද්ධ පාතාල පිරිස් සූක්ෂ්මව කළ පලිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදුව ඇත.
කලුතර දී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් සිදු කර
සමයං නමැත්තා ඇතුළු  පිරිසක් ඝාතනය ඇතුලු අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකුවූ අංගොඩ ලොක්කා මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී හසුවන්නට ගොස් පසුව පැනගත් බවට වාර්තා තිබූ අතර අනතුරුව ඉන්දියාවේ චෙන්නායිහි පොලිස් අත්අඩංගුවට පත්විය. එහිදී ලංකාවට පිටුවහල් කරන්නට ආසන්නව සිටිමුත් ඔහුට ඇප ලැබී තිබූ අවස්ථාවක ඉන්දියාවේ වෙනත් ප්‍රාන්තයකට පළාගොස් සැඟවී සිටි බව කියැවේ.
එහි සිටියදී ඔහු පාතාල සබඳතා පැවැත්වූ බවද කියැවේ.
කෙසේ වෙතත් ඔහු නිසා මියගිය පාතාල නායකයෙකුගේ රූපලාවන්‍ය ශීල්පිනී බිරියක උපායමාර්ගිකව ඔහු වෙත යවා ඔහුගේ පෙම්වතිය බවට පත්ව ඇති අතර ඇය ශක්තිජනක පානයකට විෂ වර්ගයක් මුසුකර එය පානය කිරීමට සැලැස්වීමෙන් මෙම සාතනය සිදුකරනු ලැබ ඇත. සතියක පමණ කාලයක් ඉන්දියාවේ බැංගලෝරයේ පුද්ගලික රෝහලක ඔහු ප්‍රතිකාර ලබමන් සිටි බව පැවසෙන අතර පසුගිය  03 වැනිදා මෙලෙස මියගොස් ඇති බව ආරංචි මාර්ග පවසයි.

ඉන්දියාවේ කොයිම්බතූර් ප‍්‍රදේශයේදී අංගොඩ ලොක්කාගේ දේහය පිළිබඳ අවසන් කටයුතුද සිදුකර ඇති බව  වාර්තා වේ.
මෙම ඝාතනය සිදුකිරීමෙන් පසු ඒ කියන කාන්තාව සියලු විස්තර වාර්තාවක් පරිදි වීඩියෝ ගත කර 'ඔන්න මං අයියාව මැරුවා' ලෙස දන්වා අංගොඩ ලොක්කාගේ සොයුරිය වෙත එම වීඩියෝව බලාගන්නට ලංකාවට යොමු කර ඇති බවද පැවසේ.
පාතාල ආරංචි මාර්ග වලින් අංගොඩ ලොක්කා ඝාතනය තහවුරු කර ඇත. නමුත් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න දන්වා ඇත්තේ ඔවුන්ට නිල තහවුරුවක් තවම ලැබී නැති බවකි.
අංගොඩ ලොක්කා මරණයට පත් කරන්නට මුල්වූ කාන්තාවගේ සැමියා අංගොඩ ලොක්කාගේ සමීපතමයකු වූ  බවද කියැවේ. අංගොඩ ලොක්කා නිසා සිදුවූ තම සැමියාගේ මරණයෙන් පසු ඔහු සමග වෛරයෙන් පසුවුවත් ඒ බව නොපෙන්වා මෙම කාන්තාව ඔහුගේ පෙම්වතියක් ලෙස සිට ඇත.
මෙම රහසිගත මරණය සිදුවන්නේ ඇගේ උපායශීලී හැසිරීමේ අවසන් පියවරේදීය.
මීට අමතරව බන්ධනාගාරගත පාතාලයන්ගේ බිරින්දෑවරුන් රැසක්ද අංගොඩ ලොක්කා බියවද්දවා තම අනියම් ඇසුර සඳහා ඉන්දියාවට ගෙන ගොස් ඇති බවටද තොරතුරු හෙළිව තිබේ.
කාන්තා ඇසුරු සම්බන්ධව ඇති වූ මත ගැටුම් මත හා කල්ලි අතර ගැටුම් මත මෙම ඝාතනය සිදුවන්නට ඇතැයි බුද්ධි අංශ සැක කෙරේ.
මේ අතර ලොක්කා මරණයට පත් වූ බව සැලවීමත් සමග අංගොඩ ලොක්කාගේ දේපළ බෙදාගැනීමේ ගැටුමක්ද හටගෙන ඇතැයි බන්ධනාගාර අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
අංගොඩ ලොක්කා මීට ඉහතදී ඉන්දියාවේදී මුහුණට ප්ලාස්ටික් සැත්කමක් කරගෙන ඉතාලියේ සිටින ඥාතියකු මාර්ගයෙන් යුරෝපයට පැනයාමට සූදානම් වන බවටද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී තිබිණි.