බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ බාල පුත්‍රයා වන ඇන්ඩෘ කුමරුන්ගේ දියණිය වන බියට්‍රිස් කුමරියන්ගේ විවාහ මංගල්‍යය පසුගිය සිකුරාදා සිදුවිය. එදොආර්දෝ මාපෙලි මොසි ඇගේ අතගත් මනාලයා විය. වින්ඩ්සර් මන්දිරයේ පිහිටි සියලු ශාන්තවරුන්ගේ දේවස්ථානයේදී ඉතාමත් චාම් ලෙස පැවැත්වුණු විවාහ මංගල්‍යය සඳහා බියට්‍රිස් කුමරිය සාම්ප්‍රදායික රාජකීය ඇඳුම් ආයිත්තමින් සහ නවීන විලාසිතාවේ ඇඳුම් ආයිත්තම්වලින්ද සැරසී සිටි බව පැවසෙයි.



දෙවැනි එලිසබෙත් මහ රැජින සහ පිලිප් කුමරුන් ඇතුළුව රජ පවුලේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පමණක් පැවැත්වුණු මෙම විවාහ මංගල උත්සවය එරට සෞඛ්‍ය අංශ මගින් පනවා ඇති නව කොරෝනා සෞඛ්‍ය පුර්වාරක්ෂක නියමයන් සියල්ලම අනුගමනය කරමින් පැවැත්වීමත් විශේෂත්වයකි.

එහිදී නව විවාහපත් යුවළ සිය සීයා සහ ආච්චි සමග ගත් ඡායාරූපය පවා මීටර් දෙකක පරතරයක් සහිතව ලබාගෙන තිබූ බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම විවාහ මංගල්‍යය බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ඉතිහාසය තුළ වසර 235කට පසුව ප්‍රසිද්ධ එළිමහනකදී නොපැවැත්වුණු පළමු වැනි විවාහ මංගල්‍යය ලෙසද සැලකෙයි.

බ්‍රිතාන්‍ය රජ මන්දිරයේ තත්ත්වය එසේ වෙද්දී බ්‍රිතෲන්‍යයේ සාමාන්‍ය ජනතාවගෙන් පිරිසක් සියලුම ආකාරයේ සෞඛ්‍ය පූර්වාරක්ෂක නීති උල්ලංඝනය කරමින් සමූහ වශයෙන් රොක් වී විනෝද ක්‍රීඩාවන්හි නිරත වන බව වාර්තා පවසයි. පසුගිය සෙනසුරාදා පැවැත්වුණු එවැනි නීති විරෝධී සංගීත සැණකෙළියක් වැටලූ එවොන් සහ සමර්සෙට් පළාත් පොලීසිය එහි සිටි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

පැය 15කට ආසන්න කාලයක්පැවැත්වූ බව පැවසෙන මෙම සංගීත සැණකෙළිය සඳහා තුන්දහසකට ආසන්න පිරිසක් සහභාගි වී තිබේ. ඔවුන් සියලු දෙනාම ලොක්ඩවුන් සීමා යටතේ සිටි පිරිස් බව පැවසෙයි. සෙනසුරාදා රාත්‍රී 11.20ට පමණ ආරම්භ වී ඇති මෙම අවස්ථාව පසුදින පස්වරු 4.00 දක්වා පැවැත්වී තිබේ. එම ප්‍රදේශවාසීන් පොලීසිය වෙත සිදුකළ පැමිණිලි අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ. එහිදී මෝටර්රථ, ජෙනරේටරයක් ඇතුළු උපාංගද පොලිස් භාරයට ගෙන ඇත.