පාතාල කල්ලි නායක ලසන්ත චමින්ද පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැත්තා මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් බවට සැක කෙරෙන යෝධ උකුස්සකු ඔහුගේ සමීපතමයකුට අයත් මීගොඩ නාවලමුල්ල කනත්ත පාරේ සත්ත්ව ගොවිපළක සිරකරගෙන සිටියදී ඊයේ (30) සොයා ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් අනුව අතුරුගිරිය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක්ද සම්බන්ධ කරගෙන කරනු ලැබූ වැටලීමකදී මේ යෝධ උකුස්සා හමුවී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ගොවිපොළේ සේවකයන් දෙදෙනකු වායු රයිෆලයක්ද සමඟ එහිදී අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.


උකුස්සා රඳවාසිටි ගොවිපොළ විශාල ගේට්ටුවක් සවිකර ඇතුළුවීම තහනම් යැයි සඳහන් පුවරුවක්ද ප්‍රදර්ශනය කරමින් ඒ වටා සුනඛයන් පිරිසක් ද ආරක්ෂාව සඳහා යොදවා රහසිගතව පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.

අංගොඩ ලොක්කා විසින් කලකට ඉහතදී මේ යෝධ උකුස්සා ඉන්දියාවේ සිට බෝට්ටුවකින් මෙරටට එවනු ලැබ තිබූ බවටත් ගොවිපොළේ හිමිකරු මන්නාරමේ ප්‍රදේශයේදී උකුස්සා බාරගෙන ඇති දැඩි කිරීමට ගෙනගොස් ඇති බවටත් පොලිස් පරීක්ෂණවලදී තොරතුරු හෙළිවී ඇත.

මේ උකුස්සාට මනා පුහුණුවක් ලබා දුනහොත් කිසියම් දෙයක් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට රැගෙන යෑමේ හැකියාව තිබෙන බව ඌ පරික්ෂාවට ලක්කළ වනජීවී නිලධාරීන් පවසා තිබේ.

මෙවැනි වර්ගයේ වැඩුණු උකුස්සකුට කිලෝ 15ක පමණ බරක් සැලකියයුතු දුරකට ඔසවාගෙන යා හැකි බව ද ඒ නිලධාරින් ප්‍රකාශ කර ඇත. මෙම ගොවිපොලේ හිමිකරු ගිනි අවි දෙකක් ළග තබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටි.


මේ උකුස්සා ‘කුස ඇලි මුහුදු කුස්සා" නමින් හැඳින්වෙන බවත් ශ්‍රී ලංකාවට ආවේණික නොවන මෙම පක්ෂියා කූඩුකර ඇති දැඩි කිරීම නීතියෙන් තහනම් බවත් වනජීවී නිලධාරීහු පවසති.

බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හා නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් මත අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුනිලක රූපසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක දිනුක වීරසිංහ මහතා හා බස්නාහිර පළාත් බුද්ධි අංශයේ නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීමකර වැඩිදුර පරික්ෂණ පවත්වති.