වරෙන්තු ලැබ සිටින මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතාගේ සොහොයුරු නෙරංජන් සම්පායෝ මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) පැය පහක ප්‍රකාශයක් සටහන් කර ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
 මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ දූෂණ හා විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටින
හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පැමිණෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කර තිබූ දැනුම්දීමකට අනුව නෙරංජන් සම්පායෝ මහතා ඊයේ (30) පෙරවරු 9.00ට පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව පොලිසිය පවසයි. පැය පහක ප්‍රශ්න කිරීමෙන් පසුව පස්වරු 2.30ට පමණ නෙරංජන් සම්පායෝ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශනයට ඒකකයෙන් පිටත්ව ගිය බවද පොලිසිය කියයි.

නෙරංජන් සම්පායෝ මහතා වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරීක්ෂකවරයකු වන අතර අනුරුද්ධ සම්පායෝ මහතාගේ වැඩිමහලු සහෝදරයා ද වෙයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරුද්ධ සම්පායෝ මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඊයේ (30) වන විට දින 10කි.

(නිමන්ති රණසිංහ)