කළුතර හිනැටියන්ගල ප්‍රදේශයේ දෙමහල් නිවෙසක පවත්වාගෙන ගිය මහා පරිමාණ හොර ස්කාගාරයක් වටලා එතනෝල් ලීටර් 4,000ක් ද රජයේ මත්පැන්වලට සමාන හොර මත්පැන් තොගයක් ද සමග
සැකකරුවන් 9 දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවන් සිව් දෙනකු ද වන බව පොලිසිය සඳහන් කරයි.


මත්පැන් නිෂ්පාදනයට යොදාගත් යන්ත්‍ර සූත්‍ර, මත්පැන් පිරවීමට, බෝතල්වලට මූඩි සවි කිරිමට
යොදා ගන්නා යන්ත්‍ර සූත්‍ර, නිෂ්පාදනය කර නිම කරන ලද මත්පැන් පිරවූ කාලේ බෝතල් හාර දහසක් බැරල් 16ක අඩංගු එතනෝල් ලීටර් 4000ක්, හිස් කාලේ බෝතල් පහළොස් දහසකට ආසන්න ප්‍රමාණයක්, එයට සවිකරන මූඩි හතළිස් දහසක් පමණ ද ලේබල් තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත. ඊට අමතරව මත්පැන්වල සැර පරික්ෂා කරන විශේෂිත උපකරණයක් ද පොලිස් භාරයට ගත් අතර එම උපකරණ සුරාබදු දෙපාර්තමේන්තුවේ උපකරණ තුනකින් කෙරෙන කාර්යය සිදුකරන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක්  පැවැසීය.

දෙමහල් නිවසේ ඉහළ මහලේ රාවලින් නිෂ්පාදනය කරන එතනෝල් මත්පැන් බවට පත් කර පොම්ප හරහා පහළ මහලේ යන්ත්‍ර සූත්‍රවලට යොමුකර මත්පැන් බෝතල්වලට ඇසිරීම ද යන්ත්‍ර සුත්‍ර මගින් ස්වයංක්‍රීයව සිදු කෙරෙන බව  වැටලීමට සහභාගි වූ නිලධාරියෙක් පැවසීය. කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව දෙමහල් නිවසකින් යුත් මෙම මධ්‍යස්ථානය වටලන අවස්ථාවේ දී මත්පැන් නිෂ්පාදනය කරමින් සිටි බව පොලිසිය සඳහන් කරයි. මේ වන විට සිදුකර ඇති මූලික විමර්ශනවල දී පොලිස් භාරයට ගත් මත්පැන් සහ උපකරණවල වටිනාකම රුපියල් කෝටියකට අධික බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-