විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදෙස්ගත වී සිටින ශ්‍රී ලාංකිකයන් 12,000කට ආසන්න පිරිසකට මේ වනවිට රැකියා අහිමි වී ඇතැයි වාර්තා වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්නි කාර්යාංශය පවසයි. මෙයට කොරෝනා තත්වය බලපා ඇත.
එමෙන්ම කොන්ත්‍රාත් කාලය අවසන් වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 30,000කට අධික පිරිසක් සිටින බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී මංගල රන්දෙණිය මහතා පැවසිය.
 ඔහු වැඩිදුරටත් පවසා සිටියේ විදෙස්ගත පුද්ගලයන් ලබාදුන් තොරතුරු අනුව මෙම දත්ත ලබා ගැනීමට හැකි වූ බවයි. ජෝර්දානයේ රැකියා විරහිතව සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසකට එරට පොලීසිය පහරදීමේ සිදුවීමේ නවතම තත්වය පිළිබඳ අප කළ විමසීමේදී රන්දෙණිය මහතා පවසා සිටියේ, ඔවුන් පිළිබඳ නිරන්තර සොයා බැලීම් එරට තානාපති කාර්යාලය හරහා සිදු කරන බවත්, මේ වනවිට ඔවුන් ආරක්ෂිතව සිටින බවත්ය.

ඩුබායිහි අපහසුතාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිළිබඳවද නිරන්තර සොයා බැලීම් සිදු කරන බවත්, ඔවුන්ගෙන් පිරිසක් හෙට (31දා), අනිද්දා (01) යන දෙදින තුළ මෙරටට ගෙවීමට විදේශ සබඳතා අමාත්‍යාංශය කටයුතු සුදානම් කරමින් සිටින බවත් රන්දෙණිය මහතා කියා සිටියේය.

(නවෝද්‍ය පවනි)