පිට රටවල සැගවී සිටින නමගිය පාතාල කල්ලි සාමාජිකයන් 13 දෙනකු මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඔවුන්ට එරෙහිව රතු වරෙන්තු ලබා ගැනීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙසට සියලුම පොලිස්
ස්ථානාධිපතිවරුන්ට මසක කාලයක් ලබා දී ඇති බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ (19) පැවසීය. ඔවුන් මෙරටට ගෙන්වා ගත හැක්කේ මෙරට අධිකරණයකින් ලබා ගන්නා රතු වරෙන්තුවකින් බවත් ඒ අනුව හඳුනා ගත් එම අපරාධකරුවන් සිදු කර ඇති අපරාධ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්ත කර ඔවුන්ට එරෙහිව වරෙන්තු ලබා ගන්නා ලෙසට සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට මසක කාලයක් ලබා දී ඇති බවත් දේශබන්දු තෙන්නකෝන් මහතා කීවේය.  මේ සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහය ද ලබා ගන්නා බව දේශබන්දු තෙතමකෝන් මහතා පැවැසීය.


බන්ධනාගාරවල සිට කරනු අපරාධ පාලනය කිරීම සඳහා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගේ උපදෙස් මත විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර  ඇති බවද හෙතෙම සඳහන් කළේය.  බන්ධනාගාරය තුළ සිටින අපරාධකරුවන්ට බන්ධනාගාර අවට සිට මත්ද්‍රව්‍ය, ජංගම දුරකථන ලබා දෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා බන්ධනාගාර අවට නිතර විශේෂ මෙහෙයුම් සිදුකරන ලෙසට බන්ධනාගාර දෙපාර්තමේන්තුවට හා පොලිසියට උපදෙස් දී ඇති බව ද දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේය. අත්අඩංගුවට ගෙන ඇති අපරාධ කල්ලි සාමාජිකයන්ගේ ප්‍රශ්න කිරීමේදී ඔවුන්ට එම අපරාධ සඳහා සහාය දක්වන බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇති බවත් ඔවුන් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර  ඇති බවත් කී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉදිරි දින කිහිපය තුළ ඔවුන් සම්බන්ධයෙන් ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කළේය.

ඇප මත නිදහස්ව වෙනත් ප්‍රදේශවල සැගව සිටින අපරාධ කල්ලි සාමාජිකයන් වහාම අත්අඩංගුවට ගෙන ඔවුන් සතු ගිනිඅවි සොයා ගැනීමට විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බවද තෙන්නකෝන් මහතා කීවේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  දේශබන්දු තෙන්නකෝන් මහතා මේ බව ප්‍රකාශ කළේ පොලිස් මූලස්ථානයේ ඊයේ පැවැති (19) මාධ්‍ය සාකච්ඡාවකදීය.

-ඉන්දීකා රාමානයක-