සුගියදා පාමංකඩදී රිය අනතුරකින් මියගිය වීණාවි සුලක්ඛනා මාපිටිගම (41) මහත්මිය තිදරු මවකි.
ඇයට වයස අවුරුදු 12, 8 සහ 5 යන වයස් සීමාවන්වල පසුවන දරුවන්
තිදෙනකු සිටී. ඇය මීට ඉහතදී කුවෙට් එයාර්වේස්හි
ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කර ඇති අතර

2004 වසරේදී ඇය එහි සේවය කළ අයකු හා විවාහ වී සිටියාය. වාහනය අනතුරට ලක්වන අවස්ථාවේ එය පදවමින් සිටියේ ඔහුය. ඔවුන් පදිංචිව සිටියේ පිළියන්දලයි.
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ දියණියකවූ වීණාවී 1980 දශකයේ විකාශයවූ ඉරට අඩන මල් ටෙලිනාට්‍යයෙන් ටෙලි නාට්‍ය රංගනයට කුඩා කාලයේ යොමුවූ බව අප ඊයේ වාර්තා කරන ලදි. වීණාවි මහත්මියට සොයුරෙකුද සිටින අතර ඔහුද එම ටෙලිනාටකයේ රඟපෑවේය.

සිද්ධිය සිදුවූ දිනයේ වීණාවී මහත්මිය ගමන් කර තිබුනේ පාමංකඩ පිහිටි හිතවතෙකුගේ නිවසකටය. ඇය සැමියා හා දරු තිදෙනා සමඟ පිළියන්දල නිවසේ සිට පාමංකඩ මායා වටරවුම ආසන්නයේ  නිවෙසට පැමිණ දරු තිදෙනා එහි තබා පිටවී ගොස් පැය කිහිපයකට පසු දරු තිදෙනා රැගෙන යෑම සඳහා එම නිවෙසට නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

 වැගන්ආර්  මෝටර් රථය දකුණට හැරවීමට යෑමේදී ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් අධික වේගයෙන් පැමිණි සුබාරු ස්පෝර්ට්ස්  මෝටර් රථය සමඟ එකිනෙකට ගැටීමේදී සෘජුවම බරපතල හානිය වූයේ වැගන් ආර් රථයේ රියදුරු අසුනට වම්පස අසුනේ කොටසටයි. එහි වාඩිවී සිටියේ වීණාවී මහත්මියයි.

ඇයගේ ස්වාමිපුරුෂයා බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලේ තවමත් ප්‍රතිකාර ලබයි.

පෙරේදා (14දා) පස්වරු 5.30ට පමණ මෙම මාරක රිය අනතුර සිදුවී ඇති අතර මෙම අනතුර ඒ අසල
සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියකද සටහන් වී තිබුණි.
 අනතුර සිදුකළ සුපිරි මෝටර් රථයේ 20 හැවිරිදි රියැදුරු ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි මෘදුකාංග ශිල්පියෙකු බව පොලිසිය වාර්තා කර ඇත. ඔහු පොලිස් අත්අඩංගුව යටතේ නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලේ තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය පවසයි.