කුඩා දරුවකු සමග යතුරුපැදියේ යමින් හෙරොයින් බෙදාහැරීමේ නිරත වූ කාන්තාවක රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමක් ඇති හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
 සැකකාරිය සමග ග්‍රෑම් තුනකට අධික බර මත්කුඩු පැකට් දෙසීයක්, ග්‍රෑම් පනස්  නවයක් බර මත්කුඩු අඩංගු කුඩා පාර්සල්  පහළොවක්, විද්‍යුත් තරාදි දෙකක්, ජංගම දුරකතන හතරක් පොලිසිය බාරයට ගෙන ඇත.
කාන්තාවක් කුඩා දරුවකු යතුරුපැදියේ තබාගෙන සැකනොසිතෙන ලෙස විවිධ ප්‍රදේශවලට මත්කුඩු බෙදාහරින බවට කහතුඩුව පොලිසියට ලද තොරතුරක් අනුව සැකකාරිය කහතුඩුව පොලිසිය ආසන්න මාර්ගයේ යතුරුපැදියෙන් යමින් සිටියදී නවතා සිදු කළ පරික්ෂාවේදී එහි අසුන යට සඟවා තිබූ මත්කුඩු පැකැට් දෙසීයක් සොයා ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම කාන්තාව මීට වසරකට පෙර දෙහිවල නැදිමාල ප්‍රදේශයේ සිට කහතුඩුව ප්‍රගති මාවතේ සුඛෝපභෝගී නිවසකට කුලී පදනම මත පැමිණ ඇති අතර, මහර බන්ධනාගාරයේ සිර දඬුවම් විඳින මහා පරිමාණ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවකු සහ මත්කුඩු ජාවාරමක් නිසා මරණීය දණ්ඩනය නියම වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු නිවෙසේ කුලී මුදල් ගෙවන බව පොලිසිය කළ පරික්ෂණවලින් හෙළිවී ඇත.
සැකකාරියගෙන් සිදු කළ දි ප්‍රශ්න කිරීමේදී ප්‍රගති මාවතේ නිවෙස තුළ මත්කුඩු සගවා තිබෙන බවට අනාවරණය වීමෙන් පසු එහි සිදු කළ පරීක්ෂාවෙදී කාමරයේ ඇඳ අසල සගවා තිබූ ග්‍රෑම් පනස් නවයක් බර කුඩා මත්කුඩු පාර්සල් පහළොවක්, ජංගම දුරකතන හතරක් හා විද්‍යුත් තරාදි දෙකක් සොයා ගත් බවපොලිසිය කියයි.

වැලිකඩ හා මහර බන්ධනාගාරවල රඳවා සිටින මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනා ජංගම දුරකතන හරහා ලබාදෙන උපදෙස් මත අතිඩිය පන්සල පාරේ කසළ ගොඩක, පිළියන්දල මකදන්න ප්‍රදේශයේ ස්ථානයක මෙන්ම, වැලිකඩ බන්ධනාගාරය  ඉදිරිපිට ක්‍රීඩාංගණය අසල බස් නැවතුම්පොළ අසලට ද මත්කුඩු රැගෙන ගොස් තිබෙන බවත්, එලෙස  මත්කුඩු රැගෙන යන වරකට රුපියල් පන්දහසක මුදලක් ජාවාරම්කරුවන් ලබා දෙන බවත් සැකකාරියගෙන් හෙළිවූ බව පොලිස් නිලධාරියෙක් පැවසුවාය.

 මත්කුඩු  ප්‍රවාහනයට අමතරව ඊෂී කෑෂ් හරහා ලැබෙන මුදල් එම ජාවාරම්කරුවන් දෙදෙනා ලබා  දෙන ගිණුම් අංකවලට බැර කිරීම ද සිදු කරන බව සැකකොරියගෙන් වැඩිදුරටත් අනාවරණය වූ බවට පොලිස් නිලධාරියෙක් වැඩිදුරටත් පැවසුවාය.
 සැකකාරිය මීට කලකට පෙර විදේශගතවී සිටියදී සැමියා අත්හැර ගොස් තිබූ බවත්, ඔහු ද
මේ වන විට සිර දඬුවම් විඳින බවත් සැකකාරිය පැවසූ බව පොලිසිය කියයි.
 නිවසේ සිට රෙදි මසන බව නිවෙස් හීමියාට මෙන්ම අවට නිවැසියන්ට ද අගවා සැකකාරිය ඉතා සූක්ෂම ලෙස මත්කුඩු බෙදා හැරිමේ ජාවාරම සිදු කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.
 වයස අවුරුදු තිහක් වන සැකකාරිය කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
ගල්කිස්ස පොලිසිය පරික්ෂණ පවත්වති.