මෙරට පාතාල කල්ලියක් සතුව තිබීයදී සොයාගත් වැඩිම ගිනි අවි තොගය සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (29) සමත් වුණි.
දැනට බන්ධනාගාරයේ පසුවන කොස්ගොඩ තාරකගේ පාතාල කල්ලියට අයත් බව කියන මෙම ගිනි අවි තොගය සොයාගැනුණේ හෝමාගම පිටිපන ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදිය.
කොස්ගොඩ තාරකගේ ගෝලයෙකු වන ”පොට්ට කපිල”  මෙම ගිනි අවි මීට මසකට පමණ පෙර
වෙනත් ස්ථානයක සිට පිටිපන පිහිටි මෙම අලෙවිසැලට ගෙනැවිත් සඟවා ඇති අතර ඊයේ මෙහෙයුමේදී ඔහු අත්අඩංගුවට පත්විය.පොලිස් නිලධාරියෙකුට මරු කැඳවමින් මීට කලකට පෙර සිදුවූ මාතර නිලේකා රන් භාණ්ඩ කොල්ලයේ ප්‍රධාන සැකකරු වූ පොට්ට කපිල නමැත්තා මේ දක්වා පොලිසිය මගහරිමින් සැඟව සිටි අයෙකි.
එම සැකකරු සහ මෙම ගොඩනැඟිල්ලේ හිමිකරු වන කෝටිපති ව්‍යාපාරිකයාද මේ වනවිට අත්අඩංගුවේ පසුවන බව වාර්තා වේ.
මෙරට සිදුවූ ප්‍රධාන අපරාධ රැසකට භාවිත කළ නීතිවිරෝධි ගිනි අවි තොගයක් සඟවා ඇති බවට
පොලිස් විශේෂ කාර්ය බලකාය වෙත අද තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බලකා භට පිරිස් කණ්ඩායමක් ඊයේ පෙරවරුවේ හෝමාගම, පිටිපන ප්‍රදේශයේදී විශේෂ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුණි.


එහිදී පිටිපන ප්‍රදේශයේ පිහිටි මෙම තොග භාණ්ඩ අලෙවිසැලේ ඇති ගබඩා පරික්ෂාවට ලක්වූ අතර එහි පහත මාලයේ සඟවා තිබියදී ගිනි අවි 12ක් සොයා ගැනිමට හැකිව තිබේ.

ටී.56 ගිනි අවි 11ක් සහ ටී.81 වර්ගයේ ගිනි අවියක්ද ඊට අයත්ය.

මෙය සැලකෙන්නේ මෙරට පාතාල කල්ලියක් සතුව තිබීයදී සොයාගත් වැඩිම ගිනි අවි තොගය ලෙසටය.

දැනට සිදුකරන ලද විමර්ශනවලට අනුව මෙම ගිනි අවි, 2018 ජුනි මස 22 වනදා සිදුවූ මාතර නිලේකා ස්වර්ණාභරණ අලෙවි සැලේ මංකොල්ලයේ ප්‍රධාන සැකකරු වන, පොට්ට කපිල නමැත්තා කිසියම් අනාගත සැලැස්මක් මත මේවා සැඟවූ බවටය.

එමෙන්ම ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන දැනට රක්ෂිත බන්ධනාගාරයේ පසුවන ”ගගන” නැමැත්තාගේද මෙම ගිනි අවි සඳහා සම්බන්ධයක් ඇති බවට පොලිස් විශේෂ කාර්ය බලකාය සැකපල කරයි.

සොයාගත් ගිනි අවි නිරික්ෂණය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාද පැමිණියේය.

මෙම ආයුධ තොගය අදාල ගොඩනැගිල්ල තුළ සඟවා ඇත්තේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘‘කංජිපානි ඉම්රාන්’’ නමැත්තා ඝාතනය කිරීමට බවට අද(30) උදෑසන වනවිට අනාවරණ වී ඇත.

‘‘කොස්ගොඩ තාරක’’ සහ ‘‘කංජිපානි ඉම්රාන්’’ රඳවා සිටින්නේ බූස්ස බන්ධනාගාරයේ වෙන් වෙන් සිරමැදිරි තුළයි. කංජිපානි ඉම්රාන් නඩු කටයුතු සඳහා අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවක ඔහු ඉලක්ක කර වෙඩිතැබීමට අදාල ගිනිඅවි ගෙනවිත් ඇති බවට සැක පළව ඇත.


මේ අතර අදාළ වෙළඳසැලේ හිමිකරු 2011 වසරේදී එම ගොඩනැගිල්ල අසලදී වෙඩි ප‍්‍රහාරයකට ලක්වු තැනැත්තෙකි. ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘‘කඩුවෙල වසන්ත’’ නමැත්තාගේ සමීපතමයෙකු සමග ද සම්බන්ධතා පවත්වා ඇතැයි අනාවරණ වී තිබෙයි.

මෙම ගිනි අවි භාවිත කරමින් මෙරට ප්‍රධාන පෙලේ මංකොල්ලකෑම්,මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කුලී මිනිස් ඝාතනද සිදුකර ඇතැයි සැකපල කරන පොලිස් විශේෂ කාර්ය බලකාය එම අපරාධ මොනවාද යන්න හදුනාගැනීම සදහා වැඩිදුර විමර්ශන සිදුකරයි.

පොට්ට කපිල නමැත්තා විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා. ඊට අමතරව ගිනිඅවි සගවා තිබූ වෙළඳසැලේ හිමිකරු, ඔහුගේ බිරිඳ, සහ එහි සේවකයින් 08 දෙනෙකු ද පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගැනුණි. ඔවුන් ද විශේෂ ආරක්ෂාවක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත.