Sinhala Edition English Edition
Facebook Official Fanpage Official Twitter Account Rss Feed
Load more news >>

Latest News

Load more news >>

Advertisements

Advertisement

Gossip Lanka ලිපි ඔබේ Email ට

කුඩා කල සිට දකින සිහින වෙනුවෙන් අප කැප වුණත් ඇතැම් අවස්ථාවලදී ඒ සිහින විසින්ම අපව
ප්‍රතික්ෂේප කරනවා. එහෙම ප්‍රතික්ෂේප වුණු හීන හිතේ දරාගෙන ජීවත් වෙද්දී අහම්බෙන් හෝ ඒ හීනයට
යන්න මගක් හමුවෙනවා නම් එය අනිවාර්යෙන්ම ඉතා විශාල භාග්‍යයක්.
අනූජ් පූජිත ගුණවර්ධන කියන්නේ කුඩා කාලයේ ඉඳලාම හමුදා නිලධාරියෙකු වීමට හීන දැකපු අයෙක්. නමුත්
අනූජ්ගේ හීනය තෙවරකට වැඩි වතාවක්ම බිඳ වැටෙනවා. හීනය හිතේ තබාගෙනම
පවුලේ සුබසිද්ධිය
වෙනුවෙන් කටයුතු කරන අනූජ්ට අහම්බයකින් හමුදා නිලධාරියෙකු වීමට අවස්ථාවක් ලැබෙනවා. ඒ ඇමරිකානු
ගුවන් හමුදාවට.

ඔහු මේ වනවිට ඇමෙරිකානු ගුවන් හමුදාව සතු 'ලොව බලගතුම ප්‍රහාරක හෙලිකොප්ටර් යානය'
අලුත්වැඩියා කරන ඉංජිනේරු සෙබළෙක්. ලාංකිකයෙක් ලෙසත්, හීනයක් සැබෑ කර ගැනීමට දිගු කාලයක්
ජීවිතය කැපකළ පුද්ගලයෙකු ලෙසටත් අනූජ් අපට ඉතා වැදගත් වෙනවා. මේ නිසාම අනූජ්ගේ කතාව
කියන්න ඔහුව 'අද'ට සම්බන්ධ කරගන්න අපි හිතුවා.

_*කුඩා කාලේ ඉඳලාම නිල ඇඳුමට ආදරය කළා*_

මම ඉපදෙන්නේ අම්පාරේ. මූලික අධ්‍යාපනය ලබන්නේ අම්පාර ගාමිණී මහා විද්‍යාලයෙන්. ඊට පස්සේ
මම උසස් අධ්‍යාපනය හදරන්න කොළඹ අශෝක විද්‍යාලයට එනවා. අපිට පොඩි කාලේ ඕන දෙයක් කරන්න
ගෙදරින් නිදහසක් දීලා තිබුණා. ඒ කාලේ හරිම ලස්සනයි. පොඩි කාලේ ඉඳලාම මම හමුදා නිල ඇඳුමට
ආදරය කළා. ඒ වගේම මම පොඩි කාලේ ඉඳලාම හමුදා නිල ඇඳුමට, හමුදා නිලධාරීන්ට ගරු කළා.
මගේ වයසේ අනිත් ළමයින් වෛද්‍යවරු, ඉංජිනේරුවරු, ගුරුවරු වෙන්න හීන දකිද්දී මම හිතුවෙම හමුදාවට
බැඳෙන්න. මම දන්නේ නැහැ ඒ අදහස කොහොමද ආවේ කියලාවත්. කොහොමත් පොඩි කාලේ ඉඳලාම ඕන
වෙලා තිබුණේ හමුදා නිල ඇඳුමක් අඳින්නම තමයි.

_*බඳවා ගැනීම් තුනකින්ම ප්‍රතික්ෂේප වෙනවා*_

යුද්ධ කාලයේදී හැමතිස්සෙම වගේ හමුදාවට සොල්දාදුවන් බඳවා ගැනීම් සිදුකළානේ. මම හිතන්නේ ඒ
කාලේදී මාස හයෙන් හයට වගේ බඳවා ගැනීම් තිබුණා. 2004 වසරේදී මම පළමු වතාවට ගුවන්
හමුදාවට බැඳෙන්න ඉල්ලුම් කරනවා. ඒ ගුවන් හමුදා කැඩෙට් නිලධාරියෙක් විදිහට. එතකොට මට වයස
අවුරුදු 19ක් විතර ඇති. කොහොම හරි පළමුවන යෝග්‍යතා පරීක්ෂණයේදීම අසමත් වෙනවා. ඒ හමුදාවට
අවශ්‍ය වන උස බර සහ පපු ප්‍රමාණය මගේ ශරීරයේ තිබුණේ නැහැ කියලා. ඒ අසමත් වීම මට
ලොකුවට දැනෙන්නේ නැහැ. මොකද එතකොට මට වයසත් තිබුණා. අනික ඒ මගේ පළවෙනි අත්දැකීමනේ.
ඊට පස්සේ ඊළඟ වසරේදීත් මම ඉල්ලුම් කරලා යෝග්‍යතා පරීක්ෂණයට යනවා. එතකොට නම් විශාල
බලාපොරොත්තුවකින් ගියේ. නමුත් ඒ අවුරුද්දේත් මම අසමත් වෙනවා. මගේ බරයි, පපු ප්‍රමාණයයි ඒ
වෙද්දීත් ඒ ගාණමයි තිබිලා තියෙන්නේ.

ඉතින් ඒ නිසා එහෙ හිටපු නිලධාරීන් කිව්වා &ඔහොම ඇවිත් හමුදාවට බැඳෙන්න බැහැ, හොඳට කාලා ඇඟ
හදාගෙන එන්න* කියලා. එතනදී නම් මම ඇත්තටම කඩාගෙන වැටුණා. මොකද මගේ වයසේ අනිත් යාළුවෝ
ඒ වෙද්දිත් විවිධ විධායක ශ්‍රේණිවල රැකියා කරනවා. මම මගේ හීනය වෙනුවෙන් කැප වෙලා පරාද
වෙලානේ. මට ඇත්තටම මගේ යාළුවෝ, සාමාන්‍ය අය වගේ වෙන්න අවශ්‍ය වුණේ නැහැ. මට ඕන
වුණේ හමුදා නිලධාරියෙක් වෙන්න.

 ඊළඟට මම තුන්වෙනි වතාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් හැටියට සේවය
කරන්නත්, අයදුම්පත් යොමු කරනවා. ඒකේදී මට ලියුමක් එනවා මාව බඳවා ගන්න බැහැ කියලා. ඒකට
හේතුව මොකද්ද කියලවත් ඒ ලියුමේ සඳහන් කරලා තිබුණේ නැහැ. ඒ ගැන අහන්න, කතා කරන්නවත් කවුරුත්
අපි දන්නේ නැහැ එතකොට. ඊට පස්සේත් මම අවුරුදු කිහිපයක්ම ආරක්ෂක අංශවලට බැඳෙන්න ඉල්ලුම් කරත්
ඒ හැම අවස්ථාවකදීම වගේ මට යන්න බැරි තත්ත්වයේ හේතු ලැබුණා.

මේ ප්‍රතික්ෂේප වීම් නිසාම මම ආයෙත් ආරක්ෂක අංශයේ රැකියාවලට අයදුම් කළේ නැහැ. ඒත් ආරක්ෂක
අංශයකට එකතු වෙන හීනේ හිතේ රැඳිලා තිබුණා. ඔය කාලේදී පවුලේ වගකීමත් මගේ කර මත පැටවුණා.
ඉතින් මගේ හීනත් බොඳ කරගෙන ඒ වගකීම් ඉටු කරන්න මට මහන්සි වෙන්න සිදුවුණා. ඊට පස්සේ මම
පෞද්ගලික ආයතන කිහිපයකම විවිධ රැකියා කළා.

_*ග්‍රීන් කාඩ් එකකින් ඇමෙරිකාවට එන්න ලැබෙනවා*_

2008 වසරේදී මුළු ලෝකයම විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දුන්නා. එතකොට මම සහ මගේ හිතවතුන්
පිරිසක් මැදපෙරදිග රැකියා සඳහා ලංකාවෙන් ආවා. මැදපෙරදිග අවුරුදු හතරක් විතර වැඩ කරලා
ආයෙත් ලංකාවට ආවා. ඒ කාලේදී මගේ යාළුවෙක් මම වෙනුවෙන් ඇමෙරිකාවට ග්‍රීන් කාඩ් එකක් දාලා
තිබුණා. ඇත්තටම මම දන්නෙත් නැහැ ඔහු මම වෙනුවෙන් ග්‍රීන් කාඩ් එකකට අයදුම් කරලා කියලා.
කොහොමහරි ඒ ග්‍රීන් කාඩ් එක ලැබිලා මම ඇමෙරිකාවට ආවා. ඇමෙරිකාවට ඇවිත් මෙහේ අධ්‍යාපනය
හැදෑරුවා. මොකද අපේ අධ්‍යාපන රටාවයි ඇමෙරිකාවේ අධ්‍යාපන රටාවයි සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ
නිසා හැමදේම සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න වෙනවා.

_*නොහිතපු වෙලාවක හීනයට යන්න පාර කැපෙනවා*_

ඒ කාලයේදී ඇමෙරිකාවේ උසස් පාසල්වලට හමුදා නිලධාරීන් ඇවිත් හමුදාවට බඳවා ගැනීමට වැඩසටහන්
පවත්වනවා. මම අධ්‍යාපනය හදාරපු පාසලටත් දිනක් ඇමෙරිකානු හමුදා නිලධාරීන් ඇවිත් ඒ වගේ
වැඩසටහනක් පැවැත්වුවා. අපිත් සහභාගි වුණා. එතනදී මම ඒ වැඩසටහන්වලට හොඳට ඇහුම්කන් දීගෙන
සිටියා. මොකද ඒ මම ආසම විෂයක් නිසා. මගේ හමේ වර්ණයත්, ශරීර ස්වභාවයත්, කොණ්ඩේ ස්වභාවයත්
ටිකක් වෙනස් නිසා ඒ නිලධාරීන් මම ගැන විශේෂ අවධානයක් දීලා හිටියේ. එක නිලධාරියෙක් එකපාරටම
මගෙන් අහනවා &ඇමෙරිකානු හමුදාවට බැඳෙන්න කැමති නැද්ද කියලා*. ඒ වෙලාවෙදී මම දෙපාරක්
හිතන්නේ නැතුව ඔවුන්ට &කැමතියි* කියලා උත්තර දුන්නා. ඊට පස්සේ ඔවුන්ගේ ලිඛිත පරීක්ෂණ, යෝග්‍යතා
පරීක්ෂණ හැම එකටම මම සහභාගි වුණා. ඒ හැම එකකදීම මම සමත් වුණා. ඊට පස්සේ ඇමෙරිකානු
හමුදාවට මාව බඳවා ගත්තා.

ඇමෙරිකානු හමුදාවේ මූලික පුහුණු වීම මාස තුනයි. ඒක සාමාන්‍යයෙන් ලංකාවේ හමුදා පුහුණුවලට වඩා
ඉතා අමාරු පුහුණුවීමක්. කොච්චර හිතේ හයිය තිබුණත් සමහර වෙලාවට දරාගන්නම බැරි තැන්වලදී ඒක
අත්හැරලා යන්න හිතෙනවානේ. මේ මූලික පුහුණුවේදී මටත් එහෙම අවස්ථාවකට මුහුණ දෙන්න සිදුවුණා. ඒ
පුහුණුවීම අතරතුරදී මම මගේ යාළුවෙකුට කිව්වා මට මේ පුහුණුව අමාරුයි, මට ඉවත් වෙලා ගෙදර යන්න
ඕනේ කියලා. ඔහුට මම ඊට කලින් කියලා තිබ්බේ මම ලංකාවේ ඉද්දී ආසාවෙන් හිටියේ හමුදාවට
බැඳෙන්න කියලා.

ඒ නිසාම ඔහු මාව දිරි ගැන්වූවා මට ඉවත් නොවී ඉන්න කියලා. අපිට වඩා ඉහළ නිලධාරීන්, මගේ
යාළුවෝ හැම කෙනාම තම තමන්ව දිරිමත් කරන්න එකතු වෙලා සිටියේ. ඒ නිසා මට මගදී පුහුණුව දාලා
යන්න හිතුණත් ඒක කරන්න හිත හදාගන්න බැරි වුණා. ඇමෙරිකානු ජාතිකයන්ට අමතරව ඇමෙරිකානු හමුදාවේ
කැනේඩියානු, පාකිස්තානු, මෙක්සිකානු ජාතිකයෝ ඇතුළු ලොකේ හැම රටකම වගේ අය ඉන්නවා. ඒ
හැමෝම එකට එකතු වෙලා ඉන්නේ හැම මොහොතේදීම. ඒ අය හැමෝටම ඒ විදිහට සලකන්නේ. ඒ ආදරය
ඇමෙරිකානු හමුදාව තුළ හදනවා. මම හිතනවා ඒක තමයි ඔවුන්ගේ සාර්ථකත්වයේ රහස.

'පැජී' ප්‍රහාරක ගුවන් යානයේ ඉංජිනේරු සෙබළෙකු ලෙස සේවයට බැඳෙනවා

ඇමෙරිකානු හමුදාවට බැඳෙන්නේ ඇමෙරිකාවෙන්ම සියයට එකක් වගේ ප්‍රමාණයක්. ඒ අයගෙනුත් ගුවන්
යානා ක්ෂේත්‍රයට එකතු වෙන්නේ බොහොම සුළු පිරිසක්. ඒ සුළු පිරිසෙන් එක් අයෙක් වීමේ වාසනාව මට
හිමි වුණා. මම 'පැජී හෙලිකොප්ටර්' අලුත්වැඩියා කරන ඉංජිනේරු සෙබළෙකු විදිහට සේවයට බැඳුණා.
'පැජී' ප්‍රහාරක යානය හඳුන්වන්නේ දැනට ලෝකයේ තිබෙන බලගතුම ප්‍රහාරක යානය ලෙසයි. පැජී
සේවය සඳහා මම සති විස්සක් පමණ වෙනමම පුහුණුවීම් කළා. මම හමුදාවට බැඳිලා තවම අවුරුදු
එකහමාරයි. පොඩි කාලේ ඉඳලා දැකපු හීනය හැබෑ වෙන්න ගොඩක් කාලයක් ගියා.

_*ඒ දැනෙන සතුටේ තරම කියාගන්න බැහැ*_

තමන්ගේ හීනයක් අත් නොහැර ඒ ඔස්සේම ගිහිල්ලා ඒක හැබෑ වුණාම ඒ සතුට ගොඩක් විශාලයි. තමන්ගේ
ඉලක්ක ප්‍රශ්න හමුවේ අත්හරින්නේ නැතුව, හැම වෙලාවෙම ඒ වෙනුවෙන් කැප වෙනවා නම් අනිවාර්යෙන්
ඒක හැබෑ වෙනවා. මම තවමත් සතුටෙන් ඉන්නේ මම ප්‍රශ්න, පසුබැසීම්, ප්‍රතික්ෂේප වීම් ගැන
කනගාටු නොවී ඒ වෙනුවෙන්ම කැප වුණු එකට. වයස, ජාතිකත්වය, ශරීර ස්වභාවය, වර්ණය, භාෂාව
වගේ සමාජය විසින් මිනිස්සුන්ව කොටු කරලා තිබෙන නිර්ණායක කිසි දෙයක් තමන්ගේ හීනයකට අදාළ කරගන්න
හොඳ නැහැ.

තමන්ගේ හිතේ යම් දෙයක් තිබෙනවා නම් ඉටු කරගන්න ඕනේ කියලා ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. මම
හමුදාවට බැඳෙනකොට මගේ වයස අවුරුදු තිස් හතරයි. ඒ වෙනකොට මගේ උස, බර, පපු ප්‍රමාණය
ඇමෙරිකානු හමුදාවට අවශ්‍ය ප්‍රමාණයට හැදිලා තිබුණා. හමුදාවේ ඉද්දී අපි නිතරම දුවනවා,
ක්‍රීඩා කටයුතු කරනවා. අපි අපේ ශරීර යෝග්‍යතාව ගැන නිතරම සැලකිලිමත් වෙනවා. මාත් එක්ක
ඉන්න අනිත් හැමෝම අඩි හය හත උස අය. ඒ අයත් එක්ක බැලුවාම මම හරිම පොඩියි සහ වයසින්
වැඩිමල්. ඒත් ඒක ඒ කාටවත් ප්‍රශ්නයක් වුණේ නෑ. ඇමෙරිකානු හමුදා අංශවල තවත් ලාංකිකයෝ ඉඳලත්
තියෙනවා. තවම රාජකාරි කරන අයත් ඉන්නවා. ඇමෙරිකානු හමුදාවට එකතු වෙනවා නම් අනිවාර්යෙන්ම
ඔවුන් ඇමෙරිකානු පුරවැසිභාවය ලබාගත යුතුයි.

මගේ නංගිත් දැන් ඇමෙරිකාවේ ඉන්නේ. අම්මා නම් රට දාලා එන්න බැහැ කියලා තවම ලංකාවේ
ඉන්නේ. එයාලා හැමෝම අද මං ඉන්න තත්ත්වය ගැන සතුටු වෙනවා සහ ආඩම්බර වෙනවා.

- කැලුම් දේවින්ද්‍ර















Load more news >>

Gossip Lanka Previous News

Latest Side News

Advertisement

Gossip Lanka Stats

Follow Us on Youtube & Twitter