ලෝක වෙළෙඳපොළේ ගල් අඟුරු සහ තෙල් මිල පහල ගොස් තිබියදීත්, ලංකාවේ විදුලි බිල අධික ලෙස ඉහළ දමා තිබෙන බවත්, කොවිඩ් වසංගතය නිසා විදුලි සහනයක් ලබාදෙන බව පැවසූ ආණ්ඩුව සම්පූර්ණ වැරදි ආකාරයේ ගණනය කිරීමේ ක්‍රමවේදයක් මත අධික විදුලි බිලක් ජනතාව ලබාදී තිබෙන බව
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය පැහැදිළි කිරීමක් කර තිබෙන නමුත් එහි කිසිම පැහැදිළි අවබෝධයක් ජනතාවට ලබාදී නොමැති බව ද  පෙන්වා දෙන හිටපු අමාත්‍යවරයා, මෙම නව විදුලි බිල ගණනය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව නිවැරදි පැහැදිළි කිරීමක් ආණ්ඩුව විසින් මහජනතාවට කළ යුතු බව ප්‍රකාශ කර සිටී.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන හිටපු අමාත්‍යවරයා,

ඔබ හැම දෙනාම දන්නව විදුලි ඒකක ගාණ වැඩිවෙනකොට අය කරන ගාණත් වැඩි වෙනවා. මාස තුනක එකපාර ගත්තහම විශාල ඒකක ගාණක් එනව. ඒක අරගෙන තුනෙන් බෙදුවයි කියල මාසෙක විදුලි බිල එන්නෙ නෑ. මේ විදුලි බිල් හැඳුවේ කවර ක්‍රමයටද කියල ජනතාවට කියන්න ඕන. මේක කරන්න තිබුණෙ, ඇඳිරි නීතිය දාන්න කලින් තිබුණ සාමාන්‍ය පරිභෝජනයට බිල් හදල දෙන එක මිසක් දැන් කරල තියෙන ක්‍රමය නෙමෙයි. විදුලි බිලට, ජල බිලට සහනයක් සහනයක් අනිවාර්යෙන් රටට දිය යුතුයි.

අද විදුලිය නිපදවන්න ප්‍රධාන වශයෙන්ම භාවිත වෙන්නෙ ගල් අඟුරු, තෙල් සහ ජලය. පහුගිය කාලේ තෙල් භාවිතය අඩු වුණා. දැන් ගල් අඟුරු මිලත්, තෙල් මිලත් පහලට වැටිල තියෙනව, නමුත් විදුලි බිල එහෙමමයි.

අපේ ආණ්ඩුව කාලේ විදුලි බිල මත පනවා තිබූ තෙල් බද්ද  අපි අයින් කළා. ඒ තෙල් බද්ද අයින් කිරීම නිසා රුපියල් 18.32 ක් වෙච්ච විදුලි ඒකකය රුපියල් 16 ට අඩු වුණා. ඒ කියන්නේ 2.32 ක සහනයක් විදුලි ඒකකයකට ලැබුණ. අද විදුලි බල මණ්ඩලයේ ඇතැම් නිලධාරීන් පම්පෝරි ගැහුවට 2015 මගේ පාලනය යටතේ තමයි තෙල් සහනය ලබාදීල විදුලි බල මණ්ඩලය අවසාන වශයෙන් ලාභ ලැබුවෙ. ඒ නිසා තැන් තැන්වල පම්පෝරි ගහනවට වඩා අපිට වඩා හොඳට කරල පෙන්වන්න කියල මම ඒ නිලධාරීන්ට කියනව.