බන 17 වැනි දින විවාහ වීමට සුදානමින් සිටි යුවළක විවාහයට පෙර ඡායාරූප ගැනීමට නකල්ස් සේරඇල්ලට ගොස් පූර්ව විවාහ ඡායා ඇල්බමය සඳහා ඡායාරූප ගනිමින් සිටියදී පය ලිස්සා ඇල්ලට වැටීමෙන් තරුණයා මිය යාමේ අවාසනාවන්ත සිදුවීමක්  පෙරේදා (28) සවස 4.45 ට පමණ වාර්තාවී තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ කිරිවත්ත, පන්සියගම, කුරුණෑගල ලිපිනයේ පදිංචි ශිරන්ත සංජය රත්නසූරිය නමැති 27  හැවිරිදි තරුණයෙකි.
විවාහවීමට සූදානමින් සිටි මොවුන් සිය  මංගල දිනයට පෙර
ඡායාරූප ගැනීම සඳහා
පෙරේදා (28) සිය මවුපියන්, හා ඡායාරූප ශිල්පියකු හා සහායක ඇතුළු පිරිසක් සමඟ නකල්ස් රිවස්ටන්  ප්‍රදේශයට ගොස් රිවස්ටන් ,පතන ආදී ප්‍රදේශයන්හි ඇවිදගොස් ඡායාරූප ගැනීමෙන් පසුව යුවළ සවස 4ට  පමණ සේරඇල්ල පිහිටි ප්‍රදේශයට පැමිණ ඇත.  ඡායාරූප ශිල්පියාගේ උපදෙස් මත ගල් තලාව මත  සිට විවිධ ඉරියව්වලට අනුව ඡායාරුප ගනිමින්  සිටියදී  වතුර පහරක් උඩදාන ඡායාරූපයක් ගන්න සූදානම් වන්නැයි ඡායාරූප ශිල්පී නන්දන අමරතුංග උපදෙස් දී ඇති අතර එම ක්‍රියාකාරකම සිදුකරන විට

එකවරම තරුණයාගේ පය ලිස්සා තරුණියද සමගම වතුරට ඇද වැටී ඇත.

සැණින් ක්‍රියාත්මක වූ ඡායාරූප ශිල්පියා  වතුරට පැන තරුණිය බේරාගෙන ගොඩට ගෙන
 ඇති අතර අනතුරුව ඔහු තරුණයා බේරා ගැනීමට උත්සාහ දරන අවස්ථාවේදී ඔවුන් සමග පැමිණ සිටි පිරිස් කලබල වී මියගිය තරුණයාගේ මව සහ තවත් කාන්තාවක් වතුරට  පැනීමෙන් ඔවුන්ද ගිලෙන්නට ගොස් ඇති බව  මූලික පරීක්ෂණවලින් හෙලිවී ඇත.  එහිදී තරුණයා බේරාගැනීම සඳහා
වෙහෙසෙමින් සිටි ඡායාරූප ශිල්පියා දියේ  ගිලෙමින් සිටි කාන්තාවන් දෙදෙනා බේරාගෙන  ඇති බවත් පසුව තරුණයා දියේ ගිලී අතුරුදන් වී  ඇති බවත් පරික්ෂණවලදී අනාවරණය වූ බව  පොලිසිය පවසයි.

මියගිය තරුණයා ජලයට මහත් සේ බියක්  දක්වන අයකු බවත් ඔහු කිසිදු දිනෙක ජලය පිරී  පවතින ස්ථානවලට නොයන බවත් ඔහුගේ  ඥතීහු පවසති.
දියේ ගිලුණු තරුණිය දිල්මි මධුෂිකා ඡායාරූප ශිල්පියා විසින් බේරා ගනු ලැබූ අතර ඇයට කිසිදු තුවාලයක්ද සිදුව නැත.  තරුණයා බේරාගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.

ඔහු පිහිනීමට නොදත් අයකු බැවින් දිවි බේරා ගැනීමට කිසිදු අයුරකින් හැකි නොවෙතැයි එම අවස්ථාවේ පිරිස කල්පණා කර තිබුණි.පෙරේදා (28) සවස 4.45 ට පමණ මෙම සිද්ධිය වූ පසුව දියේ ගිලුණු තරුණයා සෙවීමට රාත්‍රිය වනතුරුම උත්සාහ කළත් එය අසාර්ථක වී ඇත.

නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් යොදවා සිදු කළ මෙහෙයුමකින් පසුව ඊයේ (29) දහවල් 12 ට පමණ තරුණයාගේ සිරුර ගොඩගත් බව පොලිසිය සඳහන් කළේය.

තරුණයා ජලය පතුලේ කොටයක් අල්ලාගෙන මිය ගොස් සිටි ආකාරය දකිත්නට ලැබුණු බව සිරුර සොයාගත් නිලධාරින් සඳහන් කර තිබුණි.
මියගිය පුද්ගලයා වඩු කාර්මිකයකු බවද තරුණිය රැකියාවක් නොකරන අයෙකු බවද කියැවිණි.
දඹුල්ල මූලික රෝහලේදී ඊයේ (29) පශ්චාත්  මරණ පරික්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.
 ලග්ගල පොලිස්  නිලධාරිහු සිද්ධිය සම්බන්ධ පරික්ෂණ පවත්වති.