කොරෝනා පාලනය කළත්, සෞඛ්‍ය උපදෙස් අනුව තවදුරටත් කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මෙරට සමාජය තුළින් පසුගිය අප්‍රේල් 30වැනි දාට පසුව කිසිදු කොරෝනා ආසාදිතයෙක් හමුනොවූ බව ද යුද හමුදාපතිවරයා පවසයි.
ඔහු මේ බව පැවසුවේ විද්‍යුත් නාලිකාවක්  සමග  යුද හමුදා මූලස්ථානයේදී අද පැවති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදීය.

මේ වනවිට වාර්තාවන කොරෝනා ආසාදිතයින්, පිට රටින් මෙරටට රැගෙන එන පුද්ගලයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

රට ක්‍රමයෙන් සාමාන්‍ය වුවත් මහජනතාවට එසේ සාමාන්‍ය ලෙස සිටිය නොහැකි බවත් පවතින තත්ත්වය හමුවේ තවදුරටත් ජනතාව අනිවාර්යෙන් මුව ආවරණ පැළඳීම වැනි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බව ද යුද හමුදාපතිවරයා අවධාරණය කළේය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, කටුනායක ගුවන් තොටුපොළ විවෘත කිරීමේ දිනය අගෝස්තු 01 වැනි දා ලෙස නම් කළ තිබුණත් ලෝකයේ අනිකුත් රටවල පවතින කොරෝනා තත්ත්වය හමුවේ ගුවන් තොටුපොළ විවෘත කිරීම සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවය.

එය රජය විසින් නිවැරදිව තීරණය කරනු ඇති බව ද ඔහු සඳහන් කළේය.

තව ද කොරෝනා දෙවන රැල්ලක් බලාපොරොත්තු නොවන අතර කෙසේ හෝ කොරෝනා දෙවන රැල්ලක් පැමිණියහොත් ඊට සාර්ථකව මුහුණ දීමට ශක්තියක් ඇති බව ද යුද හමුදාපතිවරයා කියා සිටියේය.

මේ අතර මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනයට ද සැලැස්මකට අනුව කටයුතු කරමින් සිටින බව ද යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.