එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් 99 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කළේය.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ උප නායක රවී කරුණායක යන මහත්වරුන්ට නොතීසිද නිකුත් කෙරුණි.
තමන් ඇතුළු පක්ෂ සාමාජිකයන් 99 දෙනෙකුගේ සාමාජිකත්වය අහිමි කර ඇති බවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ හිටපු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතායි. තීරණය ප්‍රකාශයට පත්කරමින්
කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ මෙවැනි වාරණ නියෝගයක් ඉල්ලුම් කිරීමේදී පැමිණිලිකරු සත්‍ය කරුණු ඒ ආකාරයෙන්ම අධිකරණය හමුවේ හෙළිදරව් කළ යුතු බවයි.

එහෙත් මෙහිදී පැමිණිලිකරු සිද්ධිමය කරුණු යටපත් කරමින් අදාළ වාරණ නියෝගය අයැද සිට ඇති බවයි ඇය පෙන්වා දුන්නේ. ඒ අනුව එම වාරණ නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවද විනිසුරුවරිය සදහන් කළේය. කෙසේ වෙතත් නඩුව ජූලි මස 27 වනදා යළි කැදවීමට නියම කළ දිසා විනිසුරුවරිය අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ උප නායක රවී කරුණානායක යන මහත්වරුන්ට නොතීසිද නිකුත් කළේය.

අද සිට සති දෙකක් ඇතුළත විරෝධතා තිබේනම් ඉදිරිපත් කරන ලෙස පැමිණිල්ලේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින එක්සත් ජාතකි පක්ෂයේ මහ ලේකම් හිටපු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාටද අධිකරණය නියම කළා. පැමිණිලිකාර රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ තමන් ඇතුළු පිරිසක් සමගි ජනබලවේගය නමැති සන්ධානයකින් නාමයෝජනා භාරදීමෙන් පසු සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගැනීමට වගඋත්තරකරුවන් තීරණය කළ බවයි. අදාළ සන්ධානය ස්ථාපනය කළේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණයකට අනුව බැවින් ඒ තුළින් තමා ඇතුළු පිරිස එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර නැති බව මද්දුම බණ්ඩාර මහතාගේ පැමිණිල්ලේ සදහන්. ඒ හේතුවෙන් තමන් ඇතුළු පිරිසට විනය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීන්දුව නීතියට පටහැනි බවට ප්‍රකාශ කොට තම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ වාරණ නියෝගයක් ක්‍රියාත්මක කරන ලෙසටයි ඔහු ඉල්ලා තිබුණි.

මෙහි වගඋත්තරකාර අකිල විරාජ් කාරියවසම් මහතා සිය විරෝධතා මගින් අධිකරණයට දන්වා තිබුණේ සමගි ජනබලවේගය නමැති පක්ෂයක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය කිසිවිටෙකත් අනුමැතිය ලබා දී නැති බවයි. පැමිණිලිකාර රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පිරිස සමගි ජනබලවේගය නමැති පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන එම පක්ෂයෙන් නාමයෝජනා භාර දී ඇති බැවින් ඔවුන්ට එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තවදුරටත් දැරීමට කිසිදු සුදුසුකමක් නැති බව අකිල විරාජ් කාරියවසම් මහතා අධිකරණය හමුවේ පෙන්වා දී තිබුණා. ඔහු තවදුරටත් පවසා තිබුණේ පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මොවුන්ට විනය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බවත් එය වැළැක්වීම සදහා වාරණ නියෝගයක් නිකුත් කළහොත් දැඩි අගතියක් සිදුවිය හැකි බවත්ය.