ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ සංචිතගත ක්‍රීඩකයන් 18කට කොරෝනා වයිරසය සොයන රජයේ පීසීආර් පරීක්ෂණය අද සිදු කරයි.
බැද්දගාන පාපන්දු සංකීර්ණයේදී දින 21ක නේවාසික කඳවුර අද සිට ආරම්භ කෙරෙන බැවින් එයට පෙර මේ පරීක්ෂණ සඳහා ක්‍රීඩකයන් සියල්ල යොමු කිරීම මෙහි අරමුණ බව පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පවසයි. කිසිදු ක්‍රීඩකයකුට කුමන හේතුවක් නිසා හෝ නේවාසික පුහුණුව අතරතුර පිටතට යෑමට හෝ බාහිරව සිටින අය සමඟ සම්බන්ධතා පැවැත්වීමට නොහැකි බව සභාපතිවරයා අවධාරණය කළේය.

කොරෝනා වසංගතය හේතුවෙන් ඇනහිටි ශ්‍රී ලංකාව සහභාගී වන ජාත්‍යන්තර පාපන්දු තරග ලබන ඔක්තෝබර් මාසයේ සිට පැවැත්වෙන බැවින් පාපන්දු පිලේ පුහුණුවීම් කඩිනම් කිරීමට සම්මේලනය කටයුතු යොදා ඇත.

වසර 2022දී දෝහා කටාර්හි පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපයේ දෙවැනි වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන මුල්ම තරගය ඔක්තෝබර් 8 වැනිදා උතුරු කොරියාව සමඟ උතුරු කොරියාවේදී පැවැත්වෙයි. ඔක්තෝබර් 13 වැනිදා මෙරටදී දකුණු කොරියාව සමඟ තරගය පැවැත්වෙන අතර, නොවැම්බර් 12 වැනිදා ලෙබනනය සමඟ බීරූට් අගනුවරදී දෙවැනි වටයේ අවසන් තරගය පැවැත්වේ.

කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ පුහුණු කටයුතු පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ හමුවක් පසුගියදා පාපන්දු නිවහනේදී පැවැති අතර, එහිදී නව ජාතික පාපන්දු පුහුණුකරු බොස්නියා ජාතික අමීර් ඇලජික් මහතා පැවැසුවේ නේවාසික පුහුණුවේ මූලික අභිප්‍රාය ක්‍රීඩකයන්ගේ මානසික හා ශාරීරික යෝග්‍යතාව ඉහළ නැංවීම බවයි.

දැනට එතෙර ජීවත් වන ශ්‍රී ලංකා සම්භවයක් ඇති පාපන්දු ක්‍රීඩකයන් ද ඇතුළත් කර අවසන් සංචිතය නම් කිරීමට බලාපොරොත්තු වන බව ඒ මහතා පැවැසීය. ශ්‍රී ලංකා පාපන්දු ගොඩනැගීම සඳහා සිව් අවුරුදු සැලැස්මක් තමන් සතුව පවතින බවත් එහි තාක්ෂණික ක්‍රම ඇතුළත් සියලු කරුණු පාපන්දු සම්මේලනය වෙත භාරදී ඇති බවත් ඇලජික් මහතා පැවැසීය.

ප්‍රධාන පුහුණුකරු අමීර් ඇලජික් මහතා විසින් ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුවීම් නැවතත් ආරම්භ කිරීම සඳහා නම් කළ ක්‍රීඩකයන් 18ට කොළඹ පාපන්දු සමාජයේ ක්‍රීඩකයන් 6ක් සහ රිනවුන් ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩකයන් 3ක් ඇතුළත්ව සිටිති. මේ සංචිතයට නවක ක්‍රීඩකයන් 6ක් ඇතුළත්ව සිටින අතර, වසර 3කට පසු මැද පෙළ ක්‍රීඩක මොහොමඩ් රිස්කාන්ට හා ආබාධ හේතුවෙන් වසරකට වැඩි කාලයක් පාපන්දු පිටියෙන් ඈත්ව සිටි කොළඹ පාපන්දු සමාජයේ අෆීල් මොහොමඩ්ට අවස්ථාව හිමිව තිබේ. පසුගිය එෆ්.ඒ. කුසලානය දිනාගත් පොලිස් පිලේ ගෝල් කීපර් මහේන්ද්‍රන් දිනේෂ් සහ එම පාපන්දු සමාජයේම ඉදිරිපෙළ ක්‍රීඩක රිෆ්කාන් මොහොමඩ් යන ක්‍රීඩකයන් දෙදෙනා කැඳවා ඇත. මේ සංචිතයට කොළඹ පාපන්දු සමාජය නියෝජනය කළ ශ්‍රී ලංකා 19න් පහළ ජාතික පිලේ අබ්දුල් බාසිත් හා ෆුල් බැක් ක්‍රීඩක නිරාන් කනිෂ්ක එක්කොට තිබේ.

මේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාපන්දු ලේකම් යූ. එල්. ජස්වර් මහතා පැවැසුවේ මේ වසරේදී අර්ධ වෘත්තීය පාපන්දු තරගාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. එමඟින් දක්ෂ ක්‍රීඩකයන් ජාතික පිලට හඳුනා ගැනීමේ අවස්ථාව උදා වන බව ඒ මහතා පැවැසීය. “මේ තරගාවලියෙන් 300ක පමණ පිරිසකට ආදායම් මාර්ග ඇති වෙනවා. සුගතදාස පිටියේදී තරග 90ක් ලෙස මේ පාපන්දු තරගාවලිය පැවැත්වීමට සූදානම්” ජස්වර් මහතා පැවැසීය.

ක්‍රීඩකයන් 18ක ශ්‍රී ලංකා පාපන්දු සංචිතය මෙසේය:

රුවන් අරුණසිරි (බ්ලූ ඊගල්), මහේන්ද්‍රන් දිනේෂ් (පොලිස්), චලන චමීර (රිනවුන්), සිවකුමාරන් රූබන්රාජ් (රිනවුන්), නිරාන් කනිෂ්ක (කොළඹ), ඩක්සන් පුස්ලාස් (නිව් යංග්ස්), ජූඩ් සුපන් (රිනවුන්), චරිත රත්නායක (කොළඹ), අසිකුර් රහුමාන් (ඩිෆෙන්ඩර්ස් ක්‍රී. ස.), අෆීල් මොහොමඩ් (කොළඹ), මොහොමඩ් ෆාසාල් (කොළඹ), ශබීර් රසූනියා (කොළඹ), රිස්කාන් ෆයිසර් (ජාවාලේන්), සජිත් කුමාර (ඩිෆෙන්ඩර්ස් ක්‍රී. ස.), අබ්දුල් බාසිත් (කොළඹ), කවිඳු ඉෂාන් (බ්ලූ ඊගල්), රිෆ්කාන් මොහොමඩ් (පොලිස්), දිලිප් පීරිස් (රිනවුන්)