ප්‍රකට බොලිවුඩ් නළු සුෂාන්ත් සිං රාජ්පුත්ගේ දිවිනසාගැනීම කොරෝනා සමයේ පුද්ගල  මානසික සෞඛ්‍යයට එල්ල වී තිබෙන බලපෑමේ ප්‍රතිඵලයක් බවට “ටයිම්ස් ඔෆ් ඉන්ඩියා” පුවත්පතට ෂර්මිස්තා ගූප්තු අදහස් දක්වා තිබේ.
කොරෝනා හේතුවෙන් මෙතෙක් ගත කළ ජීවන රටාව වෙනස්වීමකට ලක් වූ පසුව
ඇතැමුන්ගේ මානසික තත්ත්වයටද එය බලපෑම් ඇති කර තිබේ. මානසික අවපීඩනයේ බලපෑමට හසු වූ පුද්ගලයන් අතරින් 34 හැවිරිදි රංගන ශිල්පි සුෂාන්ත් සිං රාජ්පුත් එක් අයෙක්ය. වසංගතයත් සමඟ උග්‍ර වූ මානසික තත්ත්වයක් එයට හේතු වූ බව අනුමාන කෙරේ.

අලුතෙන් බිහි වූ සාමාන්‍ය ජීවිතයට එක් වූයේ මුහුණු ආවරණ සහ විෂබීජනාශක දියර වැනි සෞඛ්‍යාරක්ෂිත උපාංග පමණක් නොවේ. අලුතෙන් බිහි වූ නව මානසික රටාවක්ද ඊට අයත්ය. එක් අතකින් අපගේ ආදරණීයයන් සමඟ නිතරම කතාබහ කිරීමට පුරුදු වූ අප, තවත් අතකින් බිය, තනිකම සහ නොසෑහීම වැනි සිතුවිලි සමඟ පොරබදන බිඳුණු පුද්ගලයන් බවට පත් වූ  බව ගූප්තු පවසයි.

මෙවැනි අවස්ථාවලට මුහුණ දීම සඳහා අපගේ මනසෙන්ම යම් ක්‍රියාකාරීත්වයන් සිදු වී එය අපගේ යහපතට දායක වී ඇතිය. වසංගතය පැතිර යෑමත් සමඟ මිනිසුන් තුළ හදිසියේ ඇති වූ අවිශ්වාසවන්තබව සහ ආදරණීයයන් අතර පරතරයක් තබාගැනීමට සිදු වීම හේතුවෙන් බිය, පසුතැවීම් සහ ඉටු නොවූ අවශ්‍යතා ආදිය මිනිසුන්ගේ මනස් තුළ දෝලනය වන්නට පටන්ගෙනය. අප පිළිබඳව, වෙනත් පුද්ගලයන් පිළිබඳව නව බියකින් ජීවත් වීම ඇතැමුන්ට විශාල ගැටලුවක් වී තිබේ.

මෙම කාල සීමාව තුළ දැනුණු තනිකම පිළිබඳවත් එය අපගේ ජීවිත සහ අප අනෙක් පුද්ගලයන්ව දකින ආකාරයට බලපෑ අයුරුත් අපට කවදාවත් අමතක නොවේවි කියා ගූප්තු සඳහන් කරයි. උදාහරණයක් ලෙස දෙවෙනි ලෝක මහ යුද්ධයට හවුල් වී නිවෙස්වලට ආ සටන්කරුවන් ඊට පෙර සිටි පුද්ගලයන් නොවේ. ඔවුන් නිවෙස්වලට පැමිණෙන විට හාත්පසින්ම වෙනස් පුද්ගලයන් වී තිබිණ.

යුද බිය නිසා පමණක් නොව ඔවුන් යුද්ධය අතරතුර දුටු අමානුෂික ක්‍රියා ඊට හේතු වී තිබේ. ඇතැමුන්ට එම කාල සීමාවෙන් පසුවම ඒ පිළිබඳව කතා කිරීමට නොහැකි අතර එම අත්දැකීම් ඔවුන්ගේ මතකයේ සදහටම නිහඬ වී තිබේ. ඔවුන්ගේ හැසිරීමට සහ චින්තනයට එම සිදු වීම් බලපා ඇති අතර එය ඔවුන්ට තිබෙන මානව සබඳතා කෙරෙහි යම් තාක් දුරට බලපා තිබේ. අසහනයක් දැනීමටද එය හේතු වී ඇතිය.

අද දිනද කිට්ටු සමාජ සබඳතා යනු මිනිසුන් තුළ සුවයක් ඇති කරන්නක්ය. වෙනත් පුද්ගලයන් සමඟ ඇති කරගන්නා මානසික සබැඳියාව අප තුළ විශාල බලපෑමක් ඇති කරන අතර අප ගැනම හෝ අපේම අසාර්ථකවීම් කෙරෙහි අවධානය යොමු නොකර සිටීමට එය උපකාර වේ.

නමුත් පවතින වසංගත තත්ත්වය මධ්‍යයේ පවතින ශාරීරික දුරස්ථභාවය සහ සමාජීය බෙදීම් මධ්‍යයේ පවා දුරින් සිටියද බොහෝ පුද්ගලයන් එකිනෙකා සමඟ ඇති මිත්‍රත්වයන් පවත්වාගෙන යන අයුරු සහ දයාන්විත ක්‍රියාවන්හි නිරත වන අයුරු දක්නට ලැබේ. නමුත් මෙම සටන අත්හරින ලද බොහෝ පුද්ගලයන්ද දක්නට ලැබේ. කලින් ගත කළ ක්‍රියාශීලි ජීවන රටාවට බාධා ඇති වීම, අවසානයක් නොමැති තනිකමේ හැඟීම්වලින් මිදීම අපහසු වීම සහ මානසික අවපීඩනය ඊට හේතු වී තිබේ. මෙවන් තත්ත්වයන් මත කොතරම් බලපෑමක් සිදු වී ඇත්දැයි අප නොදනිමු.

වසංගතය හේතුවෙන් සිදු වූ විනාශය මගින් සුව කිරීමට අපහසු තුවාලයක් ඇති වී තිබේ. ඉදිරියේදී මෙම වෛරසයට එන්නතක් සොයාගැනීමට ඉඩ ඇතත් වෛරසය හේතුවෙන් අහිමි වූ ජීවිත පිළිබඳව ඔවුන්ගේ ආදරණීයයන්ට ඉතිරි වී ඇත්තේ අමිහිරි මතකයන් බව එම පුවත්පතේ සඳහන් කර තිබුණි.
(“ටයිම්ස් ඔෆ් ඉන්ඩියා” ඇසුරිනි)

එස්. දහනායක
[June17, 2020 - Gossiplankanews.com]